News

මෙ.ටො.ලක්ෂ 12ක වී තොග මහා පරිමාණ මෝල් හිමියන් අතේ

මහා පරිමාණ වී මෝල් හිමියන් කීප දෙනා සතුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක් පමණ තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පැවසීය.

සම්බා වී කිලෝවක් රුපියල් 35.00 ත් 40.00 ත් අතර මිලකටත්,නාඩු වී කිලෝවක් රුපියල් 42.00 කටත් මිලදී ගෙන මෙලෙස ගබඩා කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ දිනවල මහා පරිමාණ වී මෝල් හිමියන් වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ ඉකුත් වසරේ (2018) යල කන්නයේ සහ මහ කන්නයේ වී තොග බවද ඔහු කීවේය. “මේ ව්‍යාපාරිකයන් මේ වසරේ (2019) යල කන්නයේ මිලදී ගත් වීවලට තව අත තියලාවත් නෑ. මිලදී ගන්නා වී තොග අවුරුද්දක් තියාගෙන තමයි වෙළෙඳපොළට නිකුත් කරන්නේ.”යැයි නාමල් කරුණාරත්න සඳහන් කළේය. ජනාධිපතිවරණයෙන් දින දෙකකට පසුව මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සහල් කිලෝව රුපියල් පහකින් ඉහළ දැමූ බවත් ඔහු කීවේය.

සහල් කිලෝවකින් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් රුපියල් 25.00 කට වැඩි ලාභයක් ලබන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. නාඩු සහ සම්බා සහල් (තම්බන ලද) සහල් සදහා රුපියල් 98.00 ක පාලන මිලක් නියම කිරීමෙන් පසුව, මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සිල්ලර වෙළෙඳපොළට එම සහල් නිකුත් කරනු ලබන්නේ සීමිතව බවද සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසති.

සාලිය කුමාර ගුණසේකර