රහස් පොලීසිය එද්දී රාජිත අතුරුදන්
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (25 වැනිදා) ඔහුගේ කොළඹ පිහිටි නිල නිවස සහ පෞද්ගලික නිවාසවලට ගියද මන්ත්‍රීවරයා නොසිටි බව එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පෙරේදා (24 වැනිදා) වරෙන්තු නිකුත් කරන ලදී.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මන්ත්‍රීවරයාගේ කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසට ඊයේ (25 වැනිදා) පෙරවරුවේ ගියේය. මන්ත්‍රීවරයා එම නිවසේ නොසිටි බැවින් බේරුවල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ සහ වාද්දුව-පොතුපිටිය පිහිටි පෞද්ගලික නිවාසද පරීක්ෂා කළද මන්ත්‍රීවරයා නොසිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
මේ අතර, මන්ත්‍රීවරයා පෞද්ගලික රෝහලකට ඇතුළුවීමේ සූදානමක් පවතින බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
සාලිය කුමාර ගුණසේකර/හේමන්ත ලියනපතිරණ/ චාමර පල්ලේගෙදර
