News

අගමැති මහින්ද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය

මේ මොහොතේ රට මුහුණ දී තිබෙන අර්බුදය පාර්ලිමේන්තුව තුළ නොව ජනතාව අතරට යමින් විසඳා ගත යුතු බව පවසමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුව අමතමින් කරන ලද ප්‍රකාශය පහතින්.

මහා පරිමාණ අල්ලස් ඉල්ලීම්, මහ බැංකු වංචාව ආදී මහා පරිමාණයේ වංචාවන්, රුපියල අවප්‍රමාණය වීම ආදී ආණ්ඩුවේ අකටයුතුකම් සිදුවුණා. ඉන්පස්සේ එක්සත් ජාතික පක්ෂයේත් අනුදැනුම ඇතුව ජනාධිපතිවරයා ඝාතනය කරන කුමන්ත්‍රණ තත්වයකුත් ඇති වුණා. තත්වය එතනටත් ගියාට පස්සේ තමයා ජනාධීපතිවරයා තීරණය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් කරගත්තෙ. සන්ධානය ඉවත්වීමත් සමඟම සභාග ආණ්ඩුව විසිර ගියා. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ඊටත් පස්සෙයි මට ආරාධනා කළේ ආණ්ඩුවක් පිහිටුවන්න.

විපක්ෂයේ ප්‍රධාන බලවේගය හැටියට රටට වෙන වින්නැහිය වළක්වන්න අපට වගකීමක් තිබුණා. ජනාධිපති දෙන වෙලාවේ අගමැතිකම බාර ගත්තේ ඒ නිසා. තව අවුරුද්දක් තිබුණ නම් රටට මොනවයින් මොනව වෙයිද කියල හිතාගන්නත් බැරි තත්වයකයි තිබුණෙ. මේ ආණ්ඩුව පත්වූ දවසේ සිට මේ වෙනතුරු ඇමරිකානු ඩොලර් බිලියන 21 ක ණය ගත්තා. මේ ඉවක් බවක් නැති ණය ගැනිල්ල තමයි රටට වෙමින් තිබුණු විශාලම විනාශය. පැවති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසදන්න බැරි නිසා තමයි ජනාධිපතිතුමා මට ආණ්ඩුව බාරගන්න කිව්වෙ. අපි ආණ්ඩුව බාරගත්තයින් පස්සෙ ජනතාව අතරත් බලාපොරොත්තු සහගත හැඟීමක් ඇති වුණා.

මේ සියල්ල නිසා තමයි ඒකාබද්ධ විපක්ෂයේ සුළු පිරිසක් පමණක් තනතුරු ලබාගනිමින් අන්තර්වාර ආණ්ඩුවකට යන්න මම තීරණය කළේ. ඊට පස්සෙ වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙමින් මැතිවරණයකට යන්න තීරණය කළේ. මේ ආණ්ඩුව හිතා මතා ඡන්ද ප්‍රමාද කළා. පළාත් සභා විසුරුවා හැර අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඡන්දය දුන්නෙ නෑ. ඒ මදිවට පළාත් පාලන මැතිවරණයේ දී පස්ස දොරෙන් සංශෝධන ගෙනත් විකෘති ඡන්ද ක්‍රමයකුත් හැදුවා. අපි මහ මැතිවරණයකට යන්න පසුගියදා උත්සහ කළ වෙලාවේ ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ මැතිවරණය වළක්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා.

‘ඡන්ද වලින් මූලික අයිතිවාසිකම් කඩ වෙන්නේ කාගෙද?’ අද ‘යුතුකම කවයෙන්’ පෝස්ටරේකුත් ගහල තිබුණා. ඇත්තටම කාගෙද? මමත් අහනවා.
වතුකරයේ වැටුප් සම්බන්ධ සාධාරන ප්‍රශ්නයක් තියනවා. බඩු මිල වැඩි වීමේ ප්‍රශ්නයක් රටටම තියනවා. අපි ඒ ප්‍රශ්න ටික විසඳලා ඉමු. ලෝක වෙළඳපොලේ පෙට්‍රල් මිල අඩු වෙලා තියෙන මේ වෙලාවේ අද රෑ තවත් ටිකකින් පෙට්‍රල් මිල තවත් අඩු කරන්න කියලා මම යෝජනා කරනවා.

මට විරුද්ධව සද්දෙන් විශ්වාසභාංගයක් සම්මත කළා කියලා කියනවා. එහෙම කරන්න බෑ. රටේ අගමැති ඇතුළු ඇමති මණ්ඩලය පත් කරන්නේ ජනාධිපතිතුමා. කතානායකතුමා අයුතු ලෙස බලය පාවිච්චි කරනවා. දැන් මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව ඇතුලෙ 225 කින් බේරගන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නය විසඳන්න ලක්ෂ 150 ක ජනතාවට බාර දෙමු. පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නෙවෙයි. ජනතාවටයි. ජ.වි.පෙ. පාර්ලිමේනතුව විසුරුවාහැර ඡන්දෙකට යන්න කැමති බව කිව්වා. ඒක ගැන මට සතුටුයි. එක්සත් ජාතික පක්ෂෙ මොකද කියන්නෙ? සාධාරන යුක්ති සහගත මැතිවරණයකට යන්න අපිත් එක්ක එත්වැල් බැඳගන්න. මම මේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන්මයි ඉල්ලන්නෙ. මේ වෙලාවේ පෙන්ෂන් ගැන හිතන්න එපා.