News

වසර 100ක් පිරෙන්නට පෙරුම් පුරනා ආරුක්කු නවයේ පාලම රැකදෙනමෙන් ප‍්‍රදේශවාසින් ඉල්ලයි

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දෙමෝදර ගොටුවල ප‍්‍රදේශයේ පිහිටා ඇති ආරුක්කු නවයේ පාලම දෙස් විදෙස් විශාල සංචාරකයින් පිරිසකගේ ආකර්ශණය දිනා ඇති ස්ථානයකි.

මෙම පාලමේ විශේෂත්වය වන්නේ ආරුක්කු නවයකින් යුක්තව ගල් වලින්ම පමණක් පාලම නිමවීමයි. උසින් අඩි තුන්සියයක් (300ක් පමණ වන අතර පළලින් අඩි විසි පහක්වන මෙම පාලමේ දිග අඩි හාරසියයක් (400ක් පමණ වෙයි. 1919 වසරේදී වැඩ නිමකිරීම් සිදුවන මෙම පාලමේ මේ දක්වා කිසිදු ප‍්‍රතිසංස්කරණයක් සිදු නොවීම මෙම නිර්මාණයේ ඇති සුවිශේෂතවයකි.

මෙවන්වූ සුන්දර දර්ශනීීය ස්ථානය රැුකගැනීම පිළිබඳව බළධාරීන් තම අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට නොමැති අතර ප‍්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයට පැමිණීමට ඇති ප‍්‍රධාන මාර්ගය වන දෙමෝදර ගොටුවල මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති බවයි මාර්ග පහසුකම් අවම මට්ටමක පැවතීමත් සංචාරකයින් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙම ස්ථානයේ සපුරා නොමැති වීමත් කණගාටුවට කරුණකි.

වැසිකිළි පහසුකම් මෙන්ම පානීය ජලය මෙම ස්ථානයේ නොමැති අතර සංචාරකයින් සඳහා මෙම පාලමේ විස්තර සඳහන් පුවරු කිසිවක් නොමැතිවීම විශාල අඩුපාඩුවක් බවයි ප‍්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම පාලමේ ආරුක්කු යට ඉදිව ඇති බඹර වද පිළිබඳව බොහෝ සංචාරකයින් නොදන්නා නිසා ඒ හේතුවෙන් කිහිප අවස්ථාවක සංචාරකයින් බඹර ප‍්‍රහාර වලටද ලක්ව ඇති බව පවසන ප‍්‍රදේශවාසීන් ඒ පිළිබඳව දැනුවත් වන ආකාරයේ පුවරු සවි කරන්නේ නම් ඉතා වටිනා බවද සඳහන් කර සිටී.

තවද සංචාරකයින් පාලම මත නැගී ඉතා අනාරක්ෂිත අයුරින් ජ්යාරූප ගැනීමට පුරුදුව සිටින අතර එවැනි අවධානම් කටයුතු වල නොයෙදීමට වගබලාගැනීමට සංචාරකයින් දැනුම්වත් කිරීමද ඉතා කාලෝචිත සිද්ධියකි.

මේ වන විට පාලම අවට පරිසරයද විනාශ මුඛයට පැමිණ තිබේ. ප්ලාස්ටික් බෝතල් බියර් ටින් මෙන්ම බිස්කට් අසුරන ආදිය විශාල වශයෙන් පරිසරයට බැහැර කර ඇති අතර මෙවන් වූ සිද්ධීන් තුලින් පරිසරයද විනාශ වන තත්වයකට පත්ව ඇත.

වසර සියයක් සපිරෙන්නට පෙරුම් පුරනා ආරුක්කු නවයේ පාලම නොහොත් සිහින පාලම රැකගැනීමට ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ බළධාරීන් කටයුතු සිදුකළ යුතු කාලය එළඹ ඇති බවයි ප‍්‍රදේශවාසීන් වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ.