News

සජිත්ගේ පක්ෂය පුම්බන වැඩේ මාධ්‍ය ආයතනයක් කරට ගනී

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවීමට යෝජිත නව පක්ෂයේ සංවිධාන කටයුතු සහ එහි ඉදිරි කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට මාධ්‍ය ආයතන හිමිකරුවකු ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි.

අවශ්‍ය ගොඩනැගිලි ලබා දෙමින්, සංවිධාන කටයුතු සඳහා මුල්‍යාධාර ලබාදෙමින් කටයුතු කිරීමට මෙම මාධ්‍ය ආයතන හිමිකරු සූදානම්ව ඇති බව වාර්තා වෙයි. එහිදී සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද මාධ්‍ය ආයතන හිමිකරු සූදානම්ව ඇත.

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස පරාජය වීමට බලපෑ හේතුවක් ලෙස ප්‍රතිරූපය ගොඩනැංවීමේ වැඩසටහනක් සහ ප්‍රවෘත්ති නිර්මාණය නොවීම බවට මෙම මාධ්‍ය ආයතන හිමිකරු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙම ප්‍රචාරණ කටයුතු සඳහා පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක දේශපාලන වැඩසටහන් මෙහෙය වූ නිවේදකයෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මේ මාධ්‍ය හිමිකරු විසින් සේවයට බඳවාගෙන ඇතැයි පැවසේ.

මෙම නවක සේවකයන් දෙදෙනාට පැවරී ඇත්තේ විපක්ෂ නායකවරයාගේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා වැඩසටහන් හා ප්‍රවෘත්ති නිර්මාණය කිරීමය.