News

තෙල් මිල ඉහළ දමනවා වෙනුවට අයකරන බදු පහළට

ඉන්ධන මිල ඉහළ නොදමා ඉන්ධන සඳහා අයකරන බදු අඩු කිරීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් දහයක් පාඩු ලබන බව අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ලෝක වෙළෙඳපොළේ පෙට්‍රල් බැරලයක් ඩොලර් අටකින්ද, ඩීසල් බැරලයක් ඩොලර් අටයි දශම පහකින්ද, භූමිතෙල් බැරලයක් ඩොලර් පහකින්ද වැඩි වී ඇති බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

මෙලෙස ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිලද වැඩි කිරීමට හෝ බදු අඩු කිරීමට අනුමැතිය ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත. ඒ පිළිබඳ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යාංශ නිලධාරින් සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. රජයට පාඩුවක් සිදු වුවද, ඉන්ධන සඳහා අයකරන බදු ඉදිරියේදී අඩු කිරීමට එම සාකච්ඡාවේදී තීරණය කළ බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

උදයජීව ඒකනායක