කතුවැකි

කිරි නැති හින්දා රට කිරි දීලා අපේ දරුවො මරන්නා

මිහිතලයේ සියලු දේ නිර්මාණය වන්නේ හිරුගේ කිරණින් හා මවගේ කිරිවලින් යැයි කියමනක් තිබේ. ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක මක්සිම් ගෝර්කි විසින් කර ඇති මෙම ප්‍රකාශය මව් කිරිවල අගය කියන්නට මීට වඩා ගැළපෙන යෙදුමක් අනාගතයේදී හෝ හමුවනු ඇතැයි සිතිය නොහැකිය. ලොව සියලු දේ බිහිවන්නට හේතුවන මව්කිරි සම්බන්ධයෙන් ආඩම්බර විය හැකි, සතුටට පත්විය හැකි පුවතක් පසුගිය දිනෙක වාර්තා විය.

එම පුවතට අනුව මව්කිරි දීම අතින් අප සිටින්නේ ලොව පළමු තැනය. ඉන්දියාව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක ලෝක මව්කිරි දීමේ ප්‍රවණතා වැඩසටහන මගින් ඉදිරිපත් කර ඇති නිර්ණායකයන්ට අනුව අපේ රට මේ ස්ථානය ලබාගෙන ඇත්තේ රටවල් 120 ක් පරදවමිනි. මවුකිරි බීම සම්බන්ධයෙන් සතුටුවිය හැකි වුවත් පිටිකිරි බීම සම්බන්ධයෙන් අපට එතරම් සතුටුවිය හැකි තත්ත්වයක් නැත. මව්කිරි දීම අතින් පළමු තැන සිටින්නා සේම පිටිකිරි පරිභෝජනය අතින්ද අපි ලෝකයෙන්ම ‘කප්’ ගසා ඇති නිසාය. පිටිකිරි ආනයනයෙන් අප ලොව අංක එකට පැමිණ නැතත්, අප අයත් වන්නේද වැඩියෙන්ම පිටිකිරි ආනයනය කරන රටවල් අතරටය.

පිටිකිරි ආනයනය ඉහළ යෑම කිසිසේත්ම සතුටුවිය හැකි කාරණයක් නොවන බවට සංවාදයක් පවතින්නේ කලක සිටය. එහෙත් තවමත් පිටිකිරි ආනයනය සිදු වේ. මේ නිසා පිටිකිරි බීමේ ආදිනව කියා දෙන්නට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට සමාජයේ බොහෝ විවේචන ඇතත් මේ සම්බන්ධයෙන් නම් ප්‍රශංසාව හිමිවිය යුතුය. පිටිකිරිවල ආදීනව කියන්නට වෛද්‍යවරුන් තරම් සුදුසු අන් කවුරුත් නැත.

පිටිකිරි බීම සුදුසු නොවන්නේ කාරණා කිහිපයක් හේතුකොටගෙනය. සෞඛ්‍ය අතින් මෙන්ම ආර්ථිකමය වශයෙන්ද පිටිකිරි භාවිතය විනාශකාරී බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙන්නේය. එම සංගමය කියන අන්දමට පිටිකිරි බීම විවිධ රෝගාබාධ 21 කට අතවැනීමකි. කුඩා දරුවන්ට ඇදුම, අසාත්මිකතා, ළදරු වියේ දියවැඩියාව වැනි රෝගවලටත්, වැඩිහිටියන් නම් ස්ථූලතාව, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලට භාජනය වීමට පිටිකිරි හේතුවක් වේ.

මෙසේ වීමට හේතු වන්නේ පිටිකිරිවල විවිධ රසායන ද්‍රව්‍ය, ෆාම් ඔයිල් වැනි මිනිස් සිරුරට හිතකර නොවන රසායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබීමය. වෛද්‍යවරුන් පවසන අන්දමට පිටිකිරි බීමෙන් නුවණ, බලය, ශක්තිය වැඩිවීමට කිසිදු හැකියාවක් නැත. පිටිකිරිවල සංයුතිය සැලකූ විට එහි සියයට 87 ක්ම ඇත්තේ ජලයයි.

කිරි නැති හින්දා – රට කිරි දීලා සිංහල දරුවො මරන්නා යැයි අතීත ගායිකාවක් දනන් තුඩග රැව් දෙන ගීයකින් ජාතිය දැනුවත් කළේ මේ පිටිකිරි ලංකාවට ආ මුල් යුගයේය.

පිටිකිරි බීමෙන් සෞඛ්‍යමය වශයෙන් අප පෞද්ගලිකව එවැනි හානියක් කර ගනිද්දී වාර්ෂිකව රුපියල් කෝටි 5500 ක් පිටිකිරි නිසා රටට අහිමි වේ. පිටිකිරි ආනයනය සඳහා වසරකට පිටරටට ඇදී යන මේ මුදල මෙරට වාර්ෂික ඖෂධ වියදමට සමානය. මීට අමතරව පිටිකිරි බීම නිසා රෝගී වන ජනතාවට ප්‍රතිකාර කළ යුත්තේද මහජන මුදලෙනි.

මව්කිරි දීම සම්බන්ධයෙන් අප ලොව පළමු තැනට පැමිණ සිටියත්, වර්තමානයේ මෙරට සිටින කුඩා දරුවන් බහුතරයට වසරක පමණ කාලයකින් පසුව බීමට සිදුවන්නේ පිටිකිරිය. ඒ, අද බොහෝ මව්වරුන් රැකියා කරන බැවිනි. ඉන්පසු ළදරු පාසල් යන්නට පටන් ගත් පසු උදේ ආහාර වේලට විකල්පය වන්නේද කිරි වීදුරුවයි. වැඩිහිටි වියේදීත් කිරි බීම ඇබ්බැහියක් බවට පත්වන්නේ මේ නිසාය.

පිටිකිරි ව්‍යසනයෙන් රටත්, ජනතාවත් මුදා ගැනීමට නම් එක්කෝ මේ තත්ත්වය වෙනස් කළ යුතුය. නැතහොත් පිටිකිරිවලට විකල්පයක් තිබිය යුතුය. මව්වරුන් රැකියා කිරීම, දරුවන්ට මහ පාන්දර පාසල් යන්නට සිදුවීම පහසුවෙන් කළ නොහැකි තත්ත්වයකි. පහසුවෙන් කළ හැක්කේ විකල්පයක් සඳහා ජනතාව යොමු කිරීමය.

විකල්පය අන් කිසිවක් නොව දියර කිරිය. ජනතාව දියර කිරි පානයෙන් ඉවත්ව ඇත්තේ ඔවුන් ඊට වඩා පිටිකිරිවලට කැමැති නිසා නොව දියර කිරි සපයා ගැනීමට ඇති අපහසුව නිසාය. රටේ නිෂ්පාදනය වන දියර කිරි සියල්ලම පාහේ මිලදී ගන්නේ පිටිකිරි සමාගම් විසිනි. එසේ නොවුණත් දියර කිරි බෙදා හැරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක්ද නැත. පිටි කිරිවලින් ජනතාව මුදා ගන්නට අවශ්‍ය නම් මේ ගැනද අවධානය යොමු කළ යුතුව තිබේ.

රටේ කෘෂිකර්මාන්තය බිඳවැටීමද. කෘෂිකර්මාන්තය යාන්ත්‍රීකරණය වීමද, නිසා වර්තමානයේ ගෘහස්ථව හරකුන් සෑදීමක් සිදු නොවන තරම්ය. හරකෙකු හැදුවත් ඒ සතා කිරි වැරූ පසු ආදායමක් නොමැතිව නඩත්තු කරන්නට සිදුවීම ගෘහස්ථ මට්ටමින් කිරි හරක් ඇති කිරීම අඩපණ කිරීමට හේතුවකි.

පිටිකිරිවලට ජනතාව ඇබ්බැහි වීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ බහුජාතික සමාගම් පිටිකිරි වෙනුවෙන් ගෙන යන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියයි. ඔවුන් මේ සඳහා අති දැවැන්ත මුදලක් වැය කරති. පිටිකිරි ප්‍රචාරණයට අමතරව, දියර කිරි ව්‍යාපෘති කඩාකප්පල් කිරීමටත්, පිටිකිරිවලට එරෙහි වැඩසටහන් අඩපණ කිරීමටත්, ඒ මතය ජනතාව අතරට යෑමට වැළැක්වීමටත් ඔවුහු ඊට සමාන මුදලක් වැය කරති.

කිරිපිටි ප්‍රචාරණයට මේ සමාගම් කුලියට ගන්නේ නළු නිළියන්, ක්‍රීඩකයන් වැනි පොදු ජනතාව අතර ආකර්ෂණීය චරිතය. පිටිකිරිවලට එරෙහිව ශක්තිමත් සමාජ ව්‍යාපාරයක් ගොඩනගන්නට නොහැකි වීමට එයද හේතුවකි. මේ නළු නිළියන්, ක්‍රීඩකයන් අනාගත දරු පරපුර ගැන හෝ සිතා ඉන් වැළකී සිටිය හොත් පිටිකිරි ව්‍යසනය වළක්වා ගැනීමට මහඟු සේවයක් වනු ඇත. එහෙත් ඔවුන් ස්වේච්ඡාවෙන් එවැනි තීරණයකට එළඹෙනු ඇතැයි සිතිය නොහැකිය.

2015 ට පෙර ආණ්ඩුවේ මැදිහත්වීමෙන්ම දියර කිරි ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් අරඹා තිබූ නමුත් එයද මුළුමනින්ම සාර්ථක වූයේ නැත. ඊට හේතු වූයේද අප මේ කියන කාරණාය. එහෙත් හුදෙක් පිටිකිරි වර්ජනය කරමු යැයි නොකියා මේ කාරණා හඳුනාගෙන අවශ්‍ය පියවර සමග ක්‍රියාත්මක වුවහොත් පිටිකිරි ව්‍යසනයෙන් ජනතාව බේරා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.

එහෙත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුත්තේ ආණ්ඩුවේ නියමයක් ලෙස නොව ජනතාවගේ අවශ්‍යතාවක් ලෙසය. ප්‍රථමයෙන් කළ යුත්තේ එය කරගන්නේ කෙසේද යන්න තෝරා බේරා ගැනීමය.