News

වෛද්‍ය ශාෆි ගොනු කළ පෙත්සම විභාගයට දින නියම වෙයි

අයථා ලෙස දේපල උපයා ගැනීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි ශිහාබ්ඩීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ ජූනි මස 24 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) දින ලබා දී ඇත.

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවු අවස්ථාවේ පෙත්සමට අදාල ශීර්ෂ සංශෝධනය කිරීමට අවශ්‍ය බව පෙත්සම්කරු දන්වා සිටියා. රැදවුම් භාරයෙන් තමා නිදහස් කිරීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට මෙම පෙත්සමෙන් පෙත්සම්කරුවන් වන නීතිඥ රුෂ්ඩි හබීබ් සහ වෛද්‍ය ශාෆි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

පොලිසිය විසින් වෛද්‍ය ශාෆි ශිහාබ්දින් අත්අඩංගුවට ගැනීමට පදනම් කර ගෙන ඇති චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බව පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.