News

6 දෙනෙක් ගැන රනිල්-සජිත් එකඟතාවක

එක්සත් ජාතික පක්ෂය ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ මහලේකම් ධුරයට පත් නොකළ යුතු දේශපාලනඥයන් හයදෙනකු සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර එකඟතාවක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

මෙලෙස අවබෝධයක් ඇතිවී තිබෙන්නේ සන්ධානයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් පත් නොකළ යුතු හයදෙනකුගේ නම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුවය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක, වත්මන් සභාපති කබීර් හෂීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩර, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ සහ නලීන් බණ්ඩාර යන අය එම හයදෙනා වෙති.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා (30 වැනිදා) පැවැත්වීමෙන් අනතුරුවද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම අතර සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී කෘත්‍යාධිකාරි මණ්ඩල තීන්දු පක්ෂ නායකත්වය විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිඛිතව යොමුකර ඇත්තේද මෙම මන්ත්‍රීවරු දෙදෙනා මගිනි.

උදයජීව ඒකනායක