News

බ්ලුමැන්ඩල් කුණු කන්දටත් වඩා ලොකුයි

මෙරට අධිකරණ පද්ධතියේ මෙතෙක් විසඳී නැති නඩු ලක්ෂ අටක් තිබෙන බැවින් බ්ලූමැන්ඩල් කුණු කන්දට වඩා ලංකාවේ නඩු සංඛ්‍යාව විශාල බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර පවසයි.

ලංකාවේ උසාවිවල විභාග වෙමින් පවතින ඇතැම් නඩුවලට විසඳුම් ලැබෙන්නේ අවුරුදු 50කට වැඩි කාලයක් ගත වීමෙන් පසුව බවද ඔහු පැවැසුවේය.

අධිකරණයේ විශ්වාසය පළුඳු වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා ප්‍රමුඛත්වය ගෙන විශේෂ කොමිෂන් සභාවක් පත්කර මෙම ගැටලුවට වහා විසඳුම් සෙවිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

ඔහු මෙ බව පැවසුවේ ඊයේ ( 11 වැනිදා) බොරැල්ල සමාජවාදී ජනතා පෙරමුණු පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිව් ගුණසේකර මෙසේද පැවසීය.

සමහර නඩුවලට තීන්දු ලැබෙන්නේ අදාළ පුද්ගලයන් මියගිහින් අවුරුදු 40-50ක් ගියාට පස්සෙ.

අධිකරණ ඇමැති නිමල් සිරිපාල මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

ජනතාවට දැන් අධිකරණ පද්ධතිය ගැන තියෙන්නේ අවිශ්වාසයක්. තවදුරටත් මේ තත්ත්වය මෙලෙස පවතී නම් ලංකාවේ අධිකරණය පිළිබඳව විශාල කලකිරීමක් ජනතාවට ඇතිවෙනවා.

 

අශිකා ජයවීර