News

සයිබර් අපරාධවලින් ළමයින්-කාන්තාවන් බේරගන්න නව පනතක්

අන්තර්ජාලය හරහා ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන සයිබර් අපරාධ වළක්වමින් වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව සයිබර් ආරක්ෂණ පනතක් හඳුන්වා දෙන බව ඇමැති චමල් රාජපක්ෂ පවසයි.

එමගින් පොලිසිය බල ගැන්වීමට අවශ්‍ය තාක්ෂණික ඥානය සහ පුහුණුව සපයන බවද ඇමැතිවරයා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (19 වැනිදා) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ විමසන ලද ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

මේ සඳහා වරදකරුවන්ට ලබා දෙන දඬුවම් වැඩි කිරීම මෙන්ම ජනතාව දැනුම්වත් කිරීමද අත්‍යවශ්‍ය බවද කියයි. කාන්තා හා ළමා අපචාර මැඬපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන කාර්යාංශ 44ක් සහ පොලිස් ස්ථාන ඒකක 498ක් සවිබල ගන්වා ඇති බවත් මෙහිදී හෙළි විය.

විශේෂ පුහුණුවක් ලත් දේශීය සහ විදේශීය නිලධාරිනියන් එම ඒකකයන්ට අනුයුක්ත කෙරේ. එමගින් එම අපරාධ නිවාරණය කිරීම සඳහා කටයුතු කෙරෙනු ඇත.

රාජ්‍ය නිලධාරීන්, දෙමාපියන්, සිසුන් විවිධ සමාජ කණ්ඩායම් සම්බන්ධ කරගනිමින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා අවශ්‍ය දැනුම්වත් කිරීම් සිදු කෙරෙන අතර ළමයින් හා කාන්තාවන් අපරාධවලට යොමු වීම වළක්වා ගැනීම සඳහා බහුවිධ ප්‍රවේශයක් මගින් ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය චමල් රාජපක්ෂ පහදාදෙන ලදී.

ඒ සඳහා මෙම වි​ෂය සම්බන්ධ විවිධ රාජ්‍ය නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගැනීමට නියමිතය.

 

අජිත් අලහකෝන්