News

ගුරු වර්ජනයෙන් පාසල් අකර්මණ්‍ය වෙයි – මාර්තු 16 සිට දින 5ක වර්ජනයක්

අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේ (26 වැනිදා) දියත් කළ දීපව්‍යාප්ත වැඩ වර්ජනය අති සාර්ථක බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ‘අරුණ’ට පැවැසීය.

සියයට අනූපහක්, සියට අනූහතත් අතර ගුරුවරුන් ප්‍රමාණයක් පාසල් සඳහා නොපැමිණි බවද ඔහු සඳහන් කරයි.

එසේම අධ්‍යාපන අමාත්‍යංශය පැත්තෙන්ද කිසිදු සාධනීය ප්‍රතිචාරයක් වර්ජනයෙන් පසුද නොලැබුණු බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේය.

එසේ සාධනීය ප්‍රතිචාර නොලැබුණු නිසා මාර්තු මස දහසය වැනි දින සිට විසි දෙවැනිදා දක්වා යළි දීපව්‍යාප්ත ගුරු – විදුහල්පති වර්ජනයක් දියත් කිරීමට සූදානම් බවද ඔහු පැවැසීය.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේ ගුරු – විදුහල්පති වැඩ වර්ජනය සාර්ථක අතර ගුරුවරුන් සහ විදුහල්පතිවරු සියයට අනූහතක ප්‍රතිශතයක් පාසල් සඳහා නොපැමිණි බවය.

තවද අද (27 වැනිදා) උදෑසන හතයි තිහේ (7.30) සිට පස්වරු 1.30 දක්වා කාලයේ ගුරුවරුන් පාසල්වල බාහිර ක්‍රියාකාරකම්වලින් ඉවත්ව කටයුතු කරන බවද ලංකා ගුරු සංගමය කියයි.

මේ අතර ගුරු සහ විදුහල්පතිවරු ඊයේ (26 වැනිදා) පෙරවරුවේ, බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගණය අසල සිට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට උද්ඝෝෂණ පා ගමනක්ද පැවැත්වීය.

මේ සඳහා ගුරු සහ විදුහල්පතිවරු පන්දහසකට ආසන්න ප්‍රමාණයක් එක්ව සිටි බවද ගුරු සහ විදුහල්පති සංගම් කියයි.

මෙම ගුරු-විදුහල්පති වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු අඩාළව පැවතුණි.

දිවයිනේ ඇතැම් පාසල්වල එලෙස වර්ජනය ක්‍රියාත්මක වුවද වතුකරයේ පාසල්වල බහුතර ගුරුවරුන් පිරිසක් සේවයට වාර්තා කර තිබුණි.

 

වරුණි පෙරමුණ/ සිතාර ඉරාෂ්