News

පාප්වහන්සේත් අසනීපයෙන්

කෝවිඩ් – 19 වෛරසය ඉතාලියේ 400කට වඩා වැඩි පිරිසකට ආසාදනය වී තිබියදී අති උත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේද අසනීප තත්ත්වයක් හේතුවෙන් සිය දෛනික චර්යාව වෙනස් කොට ‘සැන්ටා වාර්ට්’ හි රැඳී සිටීමට තීරණය කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

පාප් වහන්සේගේ අසනීපයේ ස්වභාවය මෙතෙක් අනාවරණය වී නැතත් පෙරේදා (26 වැනිදා) අළු බදාද පූජාවේදී එතුමා කැස්සෙන් සහ කිවිසීමෙන් පීඩා විඳින බව දැක ගත හැකිව තිබේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශ්වාසවන්තභාවය බෙදාගැනීම සඳහා නළලට හාදුවක් ලබාදීම උන්වහන්සේගේ ආශිර්වාදයන් අතර ප්‍රචලිත චර්යාවකි. පසුගිය දින කිහිපයේදී උන්වහන්සේ කෝවිඩ් – 19 වෛරසයේ පෙළෙන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳව සොයා බලමින් අදාළ කටයුතුවලට සහයෝගය පළ කළහ.

අසනීප තත්ත්වය හේතුවෙන් උන්වහන්සේ ඊයේ (27 වැනිදා) දිනයේ ලැටරන්හි ශාන්ත ජෝන් බැසිලිකාවේ රෝමානු කතෝලික පූජකවරුන් සමග යොදාගෙන තිබුණු ආශිර්වාද පූජාවක් අවලංගු කර විවේක ගැනීමට කැමැත්ත පළ කර ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

නයන තරංග ගමගේ