කෝටි 600ක මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් අද කොළඹට
සමකය ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා හතර, රුපියල් කෝටි හයසියයකට අධික මත්ද්‍රව්‍ය හා සැකකරුවන් අද (5 වැනිදා) දික්ඕවිට ධීවර වරායට ගෙන එන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ‘අරුණ’ට පැවසීය.
ට්‍රෝලර් යාත්‍රාවල සිටියදී අත්අඩංගුවට ගත් විදේශිකයන් කුමන රටවල්වලට අයත් වන්නේද යන්න ඔවුන් ගොඩබිමට රැගෙන විත් මූලික විමර්ශනවලින් පසුව ස්ථිරවම අනාවරණය කරගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එක්ව මාසයක් පමණ තිස්සේ කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර විදේශිකයෝ දහඅට දෙනෙක් හා ශ්‍රී ලාංකිකයෝ දස දෙනෙක් සිටිති.
මෙම යාත්‍රාවල හෙරොයින් කිලෝග්‍රෑම් හාරසියයක් සහ අයිස් කිලෝග්‍රෑම් සියයක් පමණ වන බව නාවික හමුදාව සඳහන් කරයි. අල්ලාගත් ට්‍රෝලර් හතරෙන් දෙකක් විදෙස් ජාවාරම්කරුවන්ට අයත්ය. එක් ට්‍රෝලරයක් කුඩාවැල්ලේ ප්‍රකෝටිපති ධීවර ව්‍යාපාරිකයකුගේ ඥාතියකුට අයත් බව විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය බන්ධනාගාර ගතව සිටින කුඩු රුවන්ට හා තවත් ජාවාරමුන්ට එවා ඇත්තේ පාකිස්තාන් හා ඇෆ්ගන් කුඩු ජාලයේ මෙහෙයවීමෙන් බව බුද්ධි අංශ හෙළිකර ඇත. ලංකාවේදී කුඩු බෙදාහැරීම භාරව සිටි පිය පුතු දෙදෙනාගෙන් පුතා පෙරේදා (03 වැනිදා) අත්අඩංගුවට ගත්තේ තවත් අයකු සමගය. මෙම සැකකරුගේ පියා ඇල්ලීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
