News

රාජපක්ෂවරු බලයට ආ දා සිට රටේ භීතියක් ඇතිවෙලා

රාජපක්ෂවරු නැවත බලයට පත්වූ දා සිට රට තුළ යළිත් භීතිය ගොඩනැගෙමින් තිබෙන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කරයි.

එහි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (4 වැනිදා) එම සංවිධානයේ නිල මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම මාධ්‍ය හමුවේදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 2019 නොවැම්බරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බලයට පත්වූ දා පටන්ම ප්‍රජා අවකාශයන් වේගයෙන් වසා දැමීම හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමිවීම සිදුවෙමින් පවතින බවයි.

එසේම පසුගිය මාස තුන ඇතුළත ආණ්ඩුව විවේචනයට ලක්කරන මාධ්‍යවේදීන්ට නාඳුනන පුද්ගලයන් විසින් කිහිප වතාවක්ම පහර දී ඇති බව වාර්තා වී ඇතැයිද ඇය ප්‍රකාශ කර තිබේ.

එසේම ඔවුන්ට මරණ තර්ජන එල්ල කර ඇති අතර ජනමාධ්‍ය කාර්යාල ආරක්ෂක අංශ විසින් සෝදිසියට ලක්කර ඇති බවද මීනක්ෂි ගංගුලි පවසා ඇත.

‘අපහාසාත්මක ලිපි’ පළකිරීම වැළැක්වීම සඳහා නව සයිබර් ආරක්ෂණ නීතියක් කෙටුම්පත් කර ඇති බව පසුගිය ජනවාරි 24 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එසේම මානව හිමිකම් ක්‍රියාකාරීන් කිහිප දෙනකුටම බුද්ධි අංශ නිලධාරීන් විසින් නැවත නැවත දුරකථන ඇමතුම් ලබාදී ඇත. එම ඇමතුම්වලදී තර්ජන හෝ අනතුරු හැඟවීම් නිකුත් කෙරී තිබේ.

සිවිල් ආරක්ෂක බළකාය සහ රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කරන රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ඇතුළු වැදගත් සිවිල් ආයතන ගණනාවක් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තබාගෙන ඇත.

එසේම මනුෂ්‍යත්වයනට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ඔහු විසින් ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර තිබේ’ යනුවෙන්ද අදාළ මාධ්‍ය හමුවේදී දකුණු ආසියානු අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කර තිබේ.

 

නයන තරංග ගමගේ