බොර තෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට ලබා නොදීම අසාධාරණයි
මේ වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 50.2ට අඩුවී ඇති නමුත් ජනතාවට එම සහනය ලබා නොදීම අසාධාරණයක් බව ජාතික සේවක සංගමයේ උප සංවිධායක ආනන්ද පාලිත ‘අරුණ’ ට පැවසීය.
ඔහු පවසන පරිදි මේ වනවිට සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වන පිරිපහදු කළ පෙට්‍රල් ලීටර් එකක මිල රුපියල් 50කි. ඍජු බදු වශයෙන් රජය රුපියල් 52ක් ලබාගන්නා අතර, සංස්ථා ලාභාංශය සහ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ලීටරයකට වෙන්වන මුදල රුපියල් අටකි.
නමුත් මේ වනවිට ජනතාවට පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන මුදල රුපියල් 137කි. ඒ අනුව ජනතාවට සහන හිමිවිය යුතු රුපියල් 27ක මුදල ඔවුනට හිමි නොවන බව හෙතෙම සඳහන් කරයි.
එමෙන්ම ඩීසල් ලීටරයක් රුපියල් 51කට මෙරටට ගෙන්වන අතර, රජයේ බදු රුපියල් 13ක් ඊට එක්වේ. මෙහෙයුම් ගාස්තු සහ සංස්ථා ලාභාංශයද ලෙස රුපියල් 7ක් වෙන්කළ විට ඩීසල් ලීටරයක් සඳහා මුදල රුපියල් 72කි.
නමුත් ඩීසල් ලීටරයක් ජනතාවට ලබාදෙන්නේ රුපියල් 104කටය.
මේ අතර මෙම සමස්ත ඉන්ධන ප්‍රමාණයෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම 7%ක් ඉක්මවා අලෙවි කරන බවත්, පවතින තත්ත්වය තුළ ඔවුන් අධික ලාභ ලබන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව ලීටරයකින් රුපියල් 4ක වැඩිපුර ලාභයක් ලබන බව පැවසූ ඔහු මෙම සමාගමට ණය බරක්, පොලී බරක් හෝ නොමැති බවත්, පරිපාලන වියදම් අඩු බවත් පෙන්වා දුන්නේය.
මෙම මුදලද ජනතාවට ගෙවීමට සිදුවී ඇති බවත්, නියමිත මිල ලබාදෙන්නේ නම් මෙවැනි ගසාකෑම් සිදු නොවන බව ඔහුගේ අදහසය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ උප සභාපතිවරයා මෙසේද කීය.
‘මිල සූත්‍රයක් නෑ කියලා රජය කරන්නේ බොරුවක්. සෑම සතියකම ඉන්ධන මිලදී ගැනීමේ කමිටුව තෙල් සංස්ථාවේ රැස්වෙනවා.
මිල සූත්‍රය හැදෙන්නේ ලෝක වෙළෙඳපොළෙන් ගන්න තෙල් මිලත් එක්ක. 1966 ඛනිජ තෙල් සංස්ථා පනතේ පැහැදිලිව තියෙනවා ඉන්ධන වෙළෙඳ ආර්ථික භාණ්ඩයක් කියලා. සංස්ථා ලාභාංශ තිබිය යුතු ප්‍රමාණය පවා ඒ පනතේ තියෙනවා.
ඒ නිසා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වෙනකොට වැඩි කරන ආණ්ඩුව, ලෝක වෙළෙඳපොළේ අඩු කරනකොට අඩු කරන්නත් ඕන. සමස්ත ලෝකයේම ඉන්ධන ඉල්ලුම අඩුවෙලා. මේකට දේශපාලනඥයන් කොරෝනා වෛරසය පටල ගන්න එපා.
ආණ්ඩුව බදු අඩු කළා කිව්වට ඉන්ධනවලින් සත පහක අඩුවීමක් වෙලා නෑ. ආණ්ඩුව අඩු කළේ ව්‍යාපාරිකයන්ගේ නැති වී ගිය බදු සහන ටික විතරයි. මිල සූත්‍රය නැති කරලා ජනතාවට සහන දෙනවා කිව්වනෙ. සහන එපා, නියමිත මිල දෙන්න.’
ශිරන්තනි මානවඩු
