News

මෙගා වොට් දහසක බලාගාර හයක් ඉදි නොකිරීමෙන් වසරකට බිලියන 50ක පාඩුවක්

පසුගිය වසර පහ තුළදී ඉදිකළ යුතුව තිබූ මෙගාවොට් 1000ක පමණ අනුමත අඩු වියදම් බලාගාර හයක් ඉදි නොකිරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් බිලියන 50ක පමණ පාඩුවක් දැරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා වාර්තා අනාවරණය කරයි.

2014 වසරෙන් පසු එකම අඩු වියදම් බලාගාරයක්වත් ඉදිකර නොමැත.

නමුත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පසුගිය වසර පහ තුළ අඩු වියදම් බලාගාර 06ක් ඉදිකිරීමට අනුමැතිය ලබාදී ඇත.

මෙගාවොට් 300කින් යුත් කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය, මෙගාවොට් 35 බැගින් වූ ගෑස් ටර්බයින් තුනක්, මෙගාවොට් 320ක ඉන්ධන බලාගාරය.

මෙගාවොට් 35ක් වූ බ්‍රෝඩ්ලැන්ඩ්ස් ජල විදුලි බලාගාරය, මෙගාවොට් 120 උමා ඔය ජල විදුලි බලාගාරය, මෙගාවොට් 100 මන්නාරම සුළං බලාගාරය එම බලාගාර වෙයි.

අඩු වියදම් බලාගාර ඉදි කිරීම වෙනුවට හදිසි විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරයි.

ලබන අප්‍රේල් මාසයේ ඇති විය හැකි විදුලිය කප්පාදුව වැළැක්වීම සඳහා හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා රජය රුපියල් කෝටි 21ක් වැය කරන බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙගාවොට් 300ක එල්.එන්.ජී. බලාගාරය ප්‍රමාද වීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට වසරකට රුපියල් බිලියන 15ක පාඩුවක් සිදුවන බව ඇස්තමේන්තු කොට තිබේ.

දැනට අනුමැතිය ලබාදී ඇති මෙම බලාගාර ඉදි කිරීම තුළින් හදිසි විදුලිය මිලදී ගැනීම අත්හිටුවීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

 

උදයජීව ඒකනායක