News

පොලිස් ත්‍යාග අරමුදල අවුල් ජාලයක්

පොලිස් ත්‍යාග අරමුදලේ ඇති මුදල්වලින් පොලිස් නිලධාරීන්ට ත්‍යාග පිරිනමනවාට වඩා සිදුකර ඇත්තේ එම මුදල් ආයෝජනය කිරීම බව විගණනයේදී හෙළිවී ඇත.

ඇතැම් පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට ඉල්ලුම් කළ දිනයේ සිට වසර පහක් වැනි විශාල කාලයක් ගතකර ඇතැයිද ඒ වන විට එම නිලධාරියා සේවයෙන් විශ්‍රාම ලබා හෝ මිය ගොස් සිටි අවස්ථා නිරීක්ෂණය වූ බවද විගණකාධිපතිවරයා සිය වාර්තාවේ දක්වා ඇත.

පොලිස් ත්‍යාග අරමුදල සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් 2018 වසරට නිකුත් කළ විගණන වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.

පොලිස් ත්‍යාග අරමුදලට ලැබෙන ආදායම් සහ ගෙවීම් ගිණුම් ගත කිරීමේදී අනුගමනය කරන ප්‍රතිපත්තිද ගැටලු සහගත බව පවසන විගණකාධිපතිවරයා විශේෂ ත්‍යාග ගෙවීමේදී ත්‍යාග මුදල පොලිස්පතිවරයාගේ අභිමතය පරිදි තීරණය කිරීම නිසා නියමිත නිර්ණායක විගණනයට අදාළ කරගත නොහැකිවූ බවද සඳහන් කර ඇත.

ඇතැම් නිලධාරීන්ට ත්‍යාග හිමිකමක් තිබියදීත් තෑගි නොගෙවූ අවස්ථා මෙන්ම ත්‍යාග ගෙවීමට අරමුදලට මුදල් ලැබී නොතියබීත් තෑගි ගෙවා ඇති අවස්ථා නිරීක්ෂණය වූ බව විගණන වාර්තාවේ දැක්වේ.

සමහර අවස්ථාවලදී නියමිත ප්‍රතිශතයට වඩා අඩුවෙන් තෑගි ගෙවා ඇතැයිද පවසන විගණකාධිපතිවරයා ත්‍යාග ලබා දීමේ නිර්ණායක කාලීනව සහ පොලිස් නිලධාරීන් දිරි ගැන්වෙන ආකාරයට සංශෝධනය විය යුතු බවට නිර්දේශ කර සිටී.

වසර ගණන් පැරැණි එහෙත් මෙතෙක් නොගෙවා ඇති තෑගි මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බවටද විගණකාධිපතිවරයා අවධාරණය කර සිටී

 

අජිත් අලහකෝන්