News

පාස්කු ප්‍රහාරයට මෛත්‍රි – රනිල් – රුවන් වගකිව යුතුයි

පාස්කු දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන වගකිවයුතුව ඇතැයිද, මේ පිළිබඳව පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභා අවසන් වාර්තාවේ සඳහන් කර ඇතැයි එම කාරක සභාවේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි පැවසීය.

මොනරාගලදී ඊයේ (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ඉකුත් වසරේ (2019) මැයි මාසයේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලදී.

එහි අවසන් වාර්තාව ඉකුත් ඔක්තෝබර් මාසයේදී සභාගත කෙරිණි. එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ආනන්ද කුමාරසිරි මහතා මෙසේ පිළිතුරු දන්නේය.

මාධ්‍යවේදීන්- කාදිනල් හිමිපාණන් චෝදනා කළා දෙපාර්ශවයම පාස්කු ඉරිදා සිද්ධිය යටගහන් ඉන්නවා කියලා.

සභාපතිවරයා- අපේ වාර්තාවේ පැහැදිලිවම අඩුපාඩු සිදුවූ තැන් ටික පෙන්වාදීලා තියෙනවා. බුද්ධි තොරතුරු ලැබී තිබුණේ බොහොම කලින්.

අප්‍රේල් මාසයේ මුල් සතියේ විතර ඒ තොරතුරු ලැබුණේ. ඒ වෙලාවේ අවශ්‍ය පියවර ගත්තා නම් මේ තරම් දුරට හානියක් සිදුවන්නේ නෑ.

මාධ්‍යවේදීන්- ඔබතුමා කියන්නේ කවුද මේකට වගකියන්න ඕනේ?

මේ වාර්තාවේ පැහැදිලිවම තියෙනවා හිටපු ජනාධිපතිතුමා, හිටපු අගමැතිතුමා,රාජ්‍ය ආරක්ෂක හිටපු ඇමැතිතුමා, ආරක්ෂක අංශයේ සියලුම දෙනා මීට වගකියන්න ඕනේ කියලා. විශාල පිරිසක් සාක්ෂි සඳහා කැඳවලා අපි ඒ වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ.

ආරක්ෂක ඇමැති ලෙස හිටපු ජනාධිපතිතුමාගෙන් මෙහිදී අඩුපාඩු ගණනාවක් සිදුවෙලා තිබෙනවා. හිටපු අගමැතිතුමාත් යම්කිසි දුරකට වගකියන්න ඕනේ. සාක්ෂි සටහන් කරද්දී එතුමා කිව්වේ පසුගිය කාලයේදී ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට එතුමාටවත්, හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධනටවත් ආරාධනා කළේ නෑ කියලා. අපි ඒ විදිහටම වාර්තා කරලා තියෙන්නේ.

 

සාලිය කුමාර ගුණසේකර