News

ශ්‍රී ලංකා හමුදාපතිට, හමුදා ප්‍රධානීන්ට බ්‍රිතාන්‍යට එන්න දෙන්න එපා

ශ්‍රී ලංකා හමුදාපතිවරයා ඇතුළු මෙරට හමුදා ප්‍රධානීන්ට එරෙහිව සංචාරක තහනම් පනවන ලෙසට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙරට හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට පැනවූ සංචාරක තහනම පදනම් කර ගනිමින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එරට දෙමළ ඩයස්පෝරාවෙන් එල්ල කෙරී ඇති දැඩි බලපෑම හමුවේ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව මෙම යෝජනාවට එරට වගකිව යුතු බලධරයා වන විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය නයිවිල් ඇඩම්ස් විසින් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නැත.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ සම්බාධක පැනවීමේදී ගෝලීය මානව හිමිකම් පදනම් කරගත් ක්‍රියාවලිය පමණක් එක්සත් රාජධානියේ පාලන තන්ත්‍රය විසින් අනුගමනය කරන බවයි.

ඉදිරි මාස කිහිපය ඇතුළත ‘යුද අපරාධ’ ​චෝදනා ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ ‘ද්විතීයික නීති’ සම්පාදනය කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අපේක්ෂා කරන බව වැඩිදුරටත් පවසා ඇති රාජ්‍ය අමාත්‍යවරයා එම රෙගුලාසි බලාත්මක කරන තුරු මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දැක්වීම නුසුදුසු බවද පවසා ඇත.

 

නයන තරංග ගමගේ