News

ආණ්ඩුවට පෙට්‍රල් 97ටත් ඩීසල් 57ටත් දෙන්න පුළුවන් – වෘත්තීය සමිති

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් රුපියල් 137ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් හතළිහකින් අඩු කිරීමේ හැකියාව රජයට පවතින බව ජාතික සේවක සංගමයේ උප සභාපති ආනන්ද පාලිත “අරුණ”ට පැවසීය.

ඒ අනුව ඉන්ධන ආනයනයේ සිට පාරිභෝගිකයා අතට පත්කිරීම දක්වා තෙල් සංස්ථාවට වැයවන සියලු මෙහෙයුම් ගාස්තු සහ බදුද ඇතුළුව ගැටලුවකින් තොරව ආණ්ඩුවට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 97 කට ලබාදිය හැකි බව හෙතෙම සඳහන් කරයි. එමෙන්ම ඔහු පවසන පරිදි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 103 කට පාරිභෝගිකයා අතට පත්කිරීමේ හැකියාව ඇත. මීට අමතරව දැනට රුපියල් 104කට අලෙවි වන ඩීසල් ලීටරයක් රුපියල් 47 කින් අඩුකර එය රුපියල් 57 කටද අලෙවි කිරීමේ හැකියාව පවතින බවද හෙතෙම පැවසීය. තවද ඔහු පවසන ආකාරයට භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 46 ක් සංස්ථාව වැය කරන අතර අලෙවි කරන්නේ රුපියල් 70 කටය. ඒ අනුව භූමිතෙල් ලීටරයක් රුපියල් 24 කින් අඩු කර රුපියල් හතළිස් හයකට ලබාදීමේ හැකියාව ඇති බව ද පෙන්වාදුන්නේය.

වසර විස්සකට පසුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් තිහ දක්වාත් පිරිපහදු කළ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් තිස්පහක් දක්වාත් අඩුවී ඇති බව පවසන උප සභාපතිවරයා මේ වන විට ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන නැව් ගාස්තුද අඩුවීම තව දුරටත් ආනයනික වියදම් අඩුවීමට හේතු වී ඇති බව සඳහන් කළේය.

ශිරන්තනි මානවඩු