අපි ඉල්ලන්නේ අලියගෙන් – අකිල කියයි
අලියා ලකුණ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යන්න සැලසුම් සකස් කරනු ලැබූවත්,ජාතික සමගි බලවේගයේ නායකයින්ට එම අවශ්‍යතාවය නොතිබූ බවත්,එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පැවැසීය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දේශපාලන පක්ෂ ලේකම්වරුන් ඊයේ (11 වැනිදා) කැඳවා තිබූ අතර,එම සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මේ බව පැවැසුවේය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය,මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෝ මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
‘‘අද විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පිළිබදව සාකච්ඡා කරනු ලැබුවා.මැතිවරණයට ඉදිරිපත්වීමේදී පක්ෂ විසින් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සහ ගැටලු පිළිබදව සාකච්ඡා කළා යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ මහලේකම්වරයා,
මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන්න තීරණය කරලා තියෙන්නේ.විශේෂයෙන් අපි පක්ෂය විදිහට සියලුම උත්සාහයන් දරනු ලැබුවා,පක්ෂයේ මහ ලේකම් තනතුරුවලින් පවා ඉවත්වෙලා පක්ෂය කැඩෙන්නේ නැතිව පක්ෂය සමගිවෙලා පවත්වාගෙන යන්න .අපි සාකච්ඡා වට ගණනාවක් පවත්වනු ලැබුවා.
නමුත්,මේවනතුරු එම සාකච්ඡා සාර්ථක වෙලා නෑ.ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන්න බලාපොරොත්තු වෙනවා.මේක මේ රටේ පරණම පක්ෂය.විශිෂ්ඨ නායකයින් විශාල වැඩ කොටසක් කරපු පක්ෂයක්.ඉතිං පක්ෂය වගේම විශේෂයෙන්ම අලියා ලකුණ ආරක්ෂා කළ යුතුයි.
අලියා ලකුණත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට යන්න සැලැස්මක් සකස් කරනු ලැබුවත් සමගි පෙරමුණේ නායකයින්ට ඒ අවශ්‍යතාවය තිබුණේ නෑ.මම ඊයේ පෙරේදා මාධ්‍යවල තියෙනවා දැක්කා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්ද ඉල්ලන අය ආවොත් පහර දෙන්න කියලා.මෙවැනි තැනකට එක්සත් ජාතික පක්ෂය හෑල්ලු කරන්න හදනවා නම් යම් කණ්ඩායමක් අපිට පක්ෂය විදිහට ඒකට ඉඩ දෙන්න පුළුවන්කමක් නෑ.
ප්රශ්නය- මේ පිරිසට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවාද?
පිළිතුර- කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙලා ඒ පිළිබදව තීරණයක් ගන්නවා.
ප්රශ්නය- ඒ අය කියන්නේ සිරිකොතෙන් නාමයෝජනා ගන්න කවුරුත් නෑ කියලා.
පිළිතුර- සිරිකොතට ඇවිත් බලන්න.අපි බලාපොරොත්තු නොවූ ආකාරයෙන් අපේක්ෂකයින් විශාල පිරිසක් සිරිකොතට පැමිණෙනවා නාම යෝජනා ලබා ගන්න.ඒ බංකොලොත්භාවය කොහේටද තියෙන්නේ කියලා අපිට ඉස්සරහදී බලාගන්න පුළුවන්.
සාලිය කුමාර ගුණසේකර
