දේශපාලන පලිගැනීම් සොයාබැලීමේ කොමිසම රැගෙන ගිය ලේඛන කොළඹ මහාධිකරණයට බාරදෙයි
බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවට අදාළව දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පරීක්ෂණ කොමිසම විසින් රැගෙන ගිය පොලිස් පරීක්ෂණ වාර්තා එම කොමිසම විසින් අද (12) කොළඹ මහාධිකරණය වෙත භාර දෙන ලදී.
මෙම නඩුව අද විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබු අවස්ථාවේදී අදාළ කොමිසමේ ලේකම් පර්ල්. කේ. වීරසිංහ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.
ඉන් අනතුරුව ඇය විසින් නඩුවට අදාළ මුද්‍රා තබන ලද ලේඛන අඩංගු ගොනු හයක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
ජනාධිපති කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණයට භාරදුන් ලේඛන අතර හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවකට අදාල ලේඛන ද තිබෙන බව පැවසුවේය.
දේශපාලන පළි ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාල විමර්ශනයක් ලබන 20 වනදා මෙම කොමිසම හමුවේ පැවැත්වීමට නියමිතව තිබෙන බැවින් එම ලේඛන එදිනට පෙර ආපසු කොමිසම වෙත ලබාදෙන ලෙස ද අදාළ නීතීඥ ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ මෙම නඩුවේ සාක්ෂි විමසීම ලබන 16 වන දා ආරම්භ කරන බවත් ඉන් අනතුරුව කොමිසමට අවශ්‍ය කරන ලේඛන ලබන 19 වනදා යළි ලබාගත හැකි බවයි.
මෙම නඩුවට අදාළව දේශපාලන පලිගැනීම් සොයාබැලීමේ කොමිසම විසින් රැගෙන ගිය ලේඛන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බැලීමේ පරීක්ෂණ කොමිසමේ ලේකම්වරිය වෙත මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි.
එම නියෝගයට අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් ඉකුත් 6 වනදා එම කොමිසමේ ලේකම්වරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වරෙන්තු නිකුත් කරන ලදී.
ඒ අනුව ඊයේ(11) සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ කොමිසමේ ලේකම්වරිය අධිකරණය විසින් ඉල්ලා සිටිනු ලබන ලේඛන අධිකරණයට භාර දිය හැකි බවට පොරොන්දුවක් ලබා දීමෙන් පසුව ඇය වෙනුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබුණි.
(අධිකරණ වාර්තාකරු)
