News

23 වැනිදාට පෙර පූර්ව මැතිවරණ අයවැයක් ඉදිරිපත් කරන්න

රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් පූර්ණ මැතිවරණ අයවැය තත්ත්වයක් පිළිබඳ වාර්තාවක් 2020 මාර්තු 23 වැනි දිනට පෙර නිකුත් කිරීමේ නීතිමය වගකීම මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ සතු බව හිටපු මුදල් ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කරයි.

මෙම වගකීම මුදල් ඇමැතිවරයාට පැවරී ඇත්තේ 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත මගින් බවද හිටපු මුදල් ඇමතිවරයා පෙන්වා දෙයි.

හෙතෙම සඳහන් කරන ආකාරයට අදාළ පනතේ ප්‍රතිපාදන ඔස්සේ පූර්ව මැතිවරණ අයවැය ස්ථානගත වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් ඇමැතිවරයා විසින් භාණ්ඩාගාරික ලේකම්වරයාට නියෝග කළ යුතුව ඇත.

මෙම වාර්තාවට රජයේ ආදායම් හා වියදම් පිළිබඳ විස්තර රජයේ ණය ගැනුම් විස්තර ඇතුළත් විය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

හිටපු මුදල් ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බැවිනි. මුදල් ඇමතිවරයා විසින් මෙම වාර්තාව එළඹෙන මාර්තු 23 වැනිදාට පෙර මහජනතාවට නිකුත් කළ යුතු බවයි.

2003 වර්ෂයේදී හඳුන්වා දුන් පනත යටතේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා මහමැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වන නියෝගය හෝ ප්‍රකාශය නිකුත් කළ සති තුනක් ඇතුළත අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මැතිවරණයට පෙර රටේ මූල්‍ය තත්ත්වය ඇතුළත් අය වැය අතුරු වාර්තාවක් මහජනයාට නිකුත් කළ යුතු වේ, යනුවෙන් අදාළ ප්‍රතිපාදනය නිෂ්චිතව සඳහන් වන බවද හිටපු මුදල් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

නයන තරංග ගමගේ