News

රවී ඇතුළු සිව්දෙනාට අද හවස 4ට පෙර අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පස්වරු 4 ට පෙර පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කර ලැබ ඇත.

අද(13) අධිකරණයට ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුව ට අනුව ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද එම තීන්දුව තුලින් සඳහන් වේ.

රවී කරුණානායක මහතා, අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම් අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරු විසින් මෙම නියෝගය ලබා දෙන ලදි.

පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 17 වනදා තෙක් කල් දමනු ලැබුණි.