News

යාපනය කෘත්‍රිම ජලාශයට බිලියන 11.6ක් දිය කරන්න යයි

රුපියල් බිලියන 02ක මුදලයක් වැය කරමින් යාපනය නගරය වෙනුවෙන් ජල සම්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබියදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 13.6ක් වැය කරමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

අතිවිශාල මුදලක් වියදම් කර වාරි දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාප්තියට පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මුල්ගල තැබීමද සිදුකර ඇත.

නුසුදුසු පරිදි ඉංජිනේරුවන් යෙදවීම සහ අනුමත නොවන ඉදිකිරීම් ක්‍රම අනුගමනය කිරීම යන ගැටලු පළමු සැලසුම්වලට ඇතුළත් කර ඇති බව පවසමින් මෙලෙස ව්‍යාපෘතිය සඳහා නව ඇස්තමේන්තු සකස් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි වාර්තා සඳහන් කරයි.

පසුගිය ජනවාරි මාසයේදී (2020) විෂය භාර ඇමැති චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙලෙස හදිසියේ අධික ප්‍රමාණයකින් ප්‍රතිපාදන ඉහළ දැමීමට කටයුතු කිරීම පිළිබඳව නිලධාරීන් විසින් දැනුම්දී ඇති නමුත් මේවනතුරුත් ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ප්‍රකාශ කරන්නේ මෙය වැරදි කළමනාකරණ තීන්දුවක් හේතුවෙන් සකස් කර ඇති අධික වියදම් ඇතුළත් වැරදි ඇස්තමේන්තුවක් බවයි.

අඩි 25ක් උස වේල්ලක් සහිත අක්කර 1500ක කෘත්‍රිම ජලාශයක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිතය. එසේම ඉදිකෙරෙන නව පොම්පාගාරයක් ඔස්සේ දෛනිකව නියඟයෙන් පෙළෙන 650,000ක ජනතාවකට කියුබික් මීටර් 50,000ක ජල ධාරිතාවක් බෙදාහැරීමට යෝජිතය.

 

නයන තරංග ගමගේ