News

ප්‍රබල ව්‍යාපාරිකයාගේ මරණයට වසර 02ට පසු බිරිද හා අනියම් සැමියා අත්අඩංගුවට

දඹුල්ල නගරයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ අනියම් සැමියා බවට සැක කරන පුද්ගලයෙකු ප්‍රශ්න කිරීම සඳහා 21 දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයා මියගොස් වසර දෙකකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු මෙම මරණය සඳහා සැකපිට බිරිඳ සහ අනියම් සැමියා අත්අඩංගුවට ගැනීම සිදු වූ බව පොලිසිය සඳහන් කර සිටී 2016 වසරේ දෙසැම්බර් 21 වන දින මෙසේ මියගොස් තිබුණේ චන්දන සමන් ගුණවර්ධන ( 41)නැමති ව්‍යාපාරිකයෙකි. සිය නිවසේ සිටියදී ඔවුහු ගෙල වැලලා ගෙන මියගොස් ඇතැයි මූලිකව සඳහන්ව තිබිණි.

පසුව මිය ගිය ව්‍යාපාරිකයාගේ ඥාතීන් මාතලේ කොට්ඨාස පොලිස් අධිකාරී වරයා වෙත ඉදිරිපත් කර තිබූ ලිපියක් මාර්ගයෙන් මෙහි විමර්ශන කටයුතු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් .ආර් . රාජපක්ෂ මහතාට ලබාදී තිබිණි.

ඒ අනුව වසර එකහමාරකට වැඩි කාලයක් ඉතා සියුම් පරීක්ෂණ පවත්වමින් හ විද්‍යාත්මක පරීක්ෂණ පවත්වමින් මෙම ඝාතනය පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම ව්‍යාපාරිකයාගේ බිරිඳ දඹුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ රැඳී සිටියදීත් අනියම් සැමියා බව කියන අයකු මාතලේ බලකඩුව ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස පොලිස් පොලිස් අධිකාරි එස්. ඩී .එච් . බී සන්දනායක මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දඹුල්ල පොලිසියේ රඳවා තිබෙන බවත් ඔවුන් 22 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝගයක් ලබාගැනීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

දඹුල්ල නගරයේ ව්‍යාපාර රැසක් හිමි මෙම ව්‍යාපාරිකයා නිවස තුළ ගෙළ වැළලාගෙන මියගොස් සිටි පුවත නිසා ප්‍රදේශයේ විවිධ කට කතා පැතිර යන්නට ද වූහ. කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම අධිකරණය මගින් විවිධ පරීක්ෂණ සිදුකරමින් තීන්දු තීරණ රැසක් ලබාදී තිබුණු බව පොලිසිය කියයි. අධිකරණ නියෝග මත මෙම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරිමෙන් පසුව වැදගත් කරුණු රැසක් අනාවරණය වනු ඇතැයි මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පවසති.