News

බස්නාහිරට-මහනුවරට පුත්තලමට -යාපනයට හැර අනික් දිස්ත්‍රික්කවල ඇඳිරියට පැය 8ක විරාමයක්

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරිනීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියලුම දිස්ත්‍රික්කවල අද (30 වැනිදා) උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරිනීතිය දහවල් 2.00ට නැවත පනවනු ලැබේ.

අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් වේ.

මේ අතර ඇඳිරිනීතිය ඉවත් කළද වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ සහ දියතලාව යන නගර හතරම අද (30 වැනිදා) වසා දැමීමට තීරණය කර ඇත. ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මෙම නගර වසා ඇති බව සහ නගරයට නොපැමිණෙන ලෙස නිවේදනය කළ බව පොලිසිය සඳහන් කරයි.

තවද, හොරොව්පොතාන නගරයද අද (30 වැනිදා) වසා දමන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.