News

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය මැයි 4 දක්වා

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.

ඉන් පසුමැයි 01, සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මකවනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙ අංශයේ ආයතන ඇඳිරි නීතිය තිබුණ ද මැයි 04 වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරනු ලැබේ.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතනසේම පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර, සේවා ස්ථාන,එළවළු, මාලු සහ සිල්ලර වෙළෙඳසැල් පවත්වාගෙන යාමට අවසර ඇත.

පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතුවේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ප්‍රධානීන්මැයි 04 සිට සිය කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු ද යන්න ලබන සතිය තුළ සැලසුම් කළ යුතුය.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළුරාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 1/3ක් පමණි.

යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යාවශ්‍ය එකක් වුව ද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය.

සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන නිලධාරීන්ට නිවසේ සිට වැඩකරන ලෙස නියම කෙරේ‍.

එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළ යුත්තේ කුමන සේවකයන් ද, නිවසේ සිට වැඩකළයුත්තේ කුමන සේවකයන් ද යන්න ආයතන ප්‍රධානියාගේඅභිමතය අනුව තීරණය කිරීමට පිළිවන.