News

කොවිඩ් මුවාවෙන් මානව හිමිකම් කඩන රටවල් අතරට ශ්‍රී ලංකාවත්

කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කරන බව කියමින් රටවල් ගණනාවක් නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් කඩ කරමින් සිටින බවත් එම රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කරයි.

එහි ප්‍රධානී මිෂෙල් බැෂලෙට් මෙලෙස චෝදනා කර ඇති රටවලින් ඉල්ලා ඇත්තේ සුවිශේෂී හෝ හදිසි ක්‍රියාමාර්ගවලට මුවා වී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින් වළකින ලෙසයි.

නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමසාරිස්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට අමතරව සයිබීරියාව, කෙන්යාව, දකුණු අප්‍රිකාව, පිලිපීනය, එල්-සැල්වදෝරය, ඩොමිනික් රාජ්‍යය, පේරු, හොන්ඩියුරාස්, ජෝර්දානය, මොරොක්කෝ, කාම්බෝජියාව, ඉරානය සහ හංගේරියාව යන රටවලින්ද මෙලෙස මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව වාර්තා වන බවයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් පවසා ඇත්තේ හදිසි බලතල යනු විසම්මුතීන් මැඩ පැවැත්වීමට, ජනගහනය පාලනය කිරීමට සහ බලයේ සිටින කාලය තවදුරටත් පවත්වා ගැනීමට රජයන්ට හැකියාව ලැබෙන ආයුධයක් නොවිය යුතුය යනුවෙනි.

 

නයන තරංග ගමගේ