News

අක්ෂි රෝහලේ හදිසි සේවා පමණයි

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය පාලනය වනතුරු ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කරන බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.එල්.යූ.සී. කුමාරතිලක පවසයි.

ජාතික අක්ෂි රෝහල කොවිඩ් -19 වෛරසය අධි අවදානම් කලාපයක පිහිටා ඇති බැවින් සාමාන්‍ය පරිදි සායන හා බාහිර රෝගී සේවා පවත්වාගෙන යාම අවදානම් බව අධ්‍යක්ෂවරිය පෙන්වා දෙයි. ජාතික අක්ෂි රෝහලේ සහ අනෙකුත් ප්‍රධාන රෝහල්වල අක්ෂි ඒකකවල හදිසි ප්‍රතිකාර සේවාවන් පැය 24 පුරාම ක්‍රියාත්මක බවද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

රෝහලේ සායන සඳහා පැමිණීමට සහ ඖෂධ ලබා ගැනීම පිළිබඳ දැන ගැනීමට 0112693911 යන දුරකථන අංකය හඳුන්වා දී තිබේ.

ඊට අමතරව ජනතාවට අක්ෂි රෝග සම්බන්ධ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා 0113318678 යන උපකාරක සේවා දුරකථන අංක හඳුන්වාදී ඇති බවද සඳහන් කළාය.

සාමාන්‍ය සායනික සේවා සහ බාහිර රෝගී සේවාවන් ආරම්භ කළ පසු ඒ බව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළාය.