News

අපොස විභාග ප්‍රතිඵල සනාථ කිරීමත් දැන් අන්තර්ජාලයෙන්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්ගගත (Online) ක්‍රමයට පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සපයා ඇති පහසුකමට අමතරව, අදාළ විභාගවල ප්‍රතිඵල සහතික කිරීමේ ලේඛන (Verification) නිකුත් කිරීමේ අන්තර්ජාල සේවාව ද විභාග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.

මෙහි මූලික අදියර යටතේ 2001 වසරේ සිට මේ දක්වා පවත්වන ලද සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට අදාළ ප්‍රතිඵල සනාථ කිරීමේ ලේඛන නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මේ යටතේ විදේශීය විශ්වවිද්‍යාල, විදේශීය ආයතන, පෞද්ගලික ආයතන සහ විභාග අයදුම්කරුවන් ඇතුළු අදාළ පාර්ශ්වයන්ට සහතික කරන ලද ප්‍රතිඵල ලේඛන Online ක්‍රමයට නිකුත් කරනු ලැබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියෙන් අයදුම්කරුවන්ට තම ප්‍රතිඵල සනාථ කර ගැනීමේ මෙම සේවාව ලබා ගැනීමට හැකිය.