News

ඇමරිකාවේ හා ආසියාවේ කොටස් වෙළෙඳපොළ ක්‍රමිකව ඉහළට

කොවිඩ්-19 වෛරසයට එරෙහිව එක්සත් ජනපදයේ Gilead science සමාගම විසින් පර්යේෂණ සිදු කරමින් සිටින රෙම්ඩෙසිවර් (Remdesivir) නම් ඖෂධයේ සායනික ප්‍රතිඵල සාර්ථක වීමත් සමග ඇමරිකාවේ සහ ආසියාවේ කොටස් වෙළෙඳපොළ අගයන් ඉහළ යමින් පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

එක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයන් උපුටා දක්වන බීබීසී පුවත් සේවය පවසා ඇත්තේ වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා පසුගියදා පළමු සායනික අත්හදා බැලීමට යොමුකළ මෙම ඖෂධය සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවයි.

එම නිසාම මේ වනවිට අදාළ ඖෂධය මගින් අගුළු දැමූ රටවල තත්ත්වයන් සමනය කළ හැකි බවට ආයෝජකයන් ඔට්ටු අල්ලමින් සිටින බවද බීබීසීය ප්‍රකාශ කර ඇත.

විශේෂයෙන්ම රෙම්ඩෙසිවර් පිළිබඳ බලාපොරොත්තු හේතුවෙන් පසුගිය සතියේදී නිව්යෝර්ක් නුවර වෙළෙඳ කටයුතු පමණක් සියයට පහයි දශම පහකින් ඉහළ ගොස් තිබේ.

මේ අතර ධවල මන්දිරයේ සෞඛ්‍ය උපදේශක ඇන්තනි ෆවුසිද ප්‍රකාශ කර ඇත්තේ එරට ජාතික ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය (NIAID) සිදුකළ පර්‌යේෂණයකින්ද මෙම ඖෂධයේ නිරවද්‍යතාවන් මෙන්ම කොවිඩ්-19 රෝගීන්ට සුවය ලැබීමට ගතවන කාලය අඩුවීම අනාවරණය කර ඇති බවයි.

 

නයන තරංග ගමගේ