අගමැති කැදවූ සාකච්ඡාවට එජාපයත් නැහැ
පැවැති පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 225 අරලියගහ මැදුරට කැඳවමින් අගමැති මහින්ද රාජපක්ෂ අද (4 වැනිදා) පැවැත්වීමට නියමතිව තිබූ සාකච්ඡාව වර්ජනය කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කර ඇත.
මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී අද (04 වැනිදා) පෙරවරු 10.00ට පැවැත්වෙන බව අගමැති කාර්යාලය සියලුම මන්ත්‍රීවරුන්ට පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දී තිබුණි. සාකච්ඡාවට සහභාගි නොවන බව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (3 වැනිදා) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී තීන්දු කර ඇත්තේ අගමැතිවරයා කැඳවා ඇති සාකච්ඡාව වර්ජනය කිරීමටය. මෙවැනි සාකච්ඡාවකදී අර්ථවත් සංවාදයක් පැවැත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මතයයි. නමුත් කොවිඩ් වෛරසය ව්‍යාප්තවීම හමුවේ රට අස්ථාවර වී ඇති අවස්ථාවක රජය ගන්නා උත්සාහයන්ට සහාය වන බවද එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ හිටපු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවයි. රාජ්‍ය මූල්‍ය කටයුතු හා අදාළ නීති සම්මත කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවට පමණක් බවද සමගි ජනබලවේගය අවධාරණය කර සිටියි. අරලිගහ මන්දිරයේ පැවැත්වෙන ‘‘සෙල්ලං පාර්ලිමේන්තුවට’’ සහභාගි නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ප්‍රකාශ කළේය. මේ අතර දෙමළ ජාතික සන්ධානය මෙම සාකච්ඡාවට සහභාගිවීම පිළිබඳව අවසන් තීරණය ඊයේ (03 වැනිදා) රාත්‍රියේ ගැනීමට නියමිතව තිබිණි. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකදී මෙම තීරණය ගැනීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කරයි. ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් ප්‍රකාශ කළේ අගමැතිවරයා කැඳවා ඇති සාකච්ඡාවට තමන් සහභාගි වන බවයි. මේ අතර කවුරු ආවත් නැතත් තමන් මෙම සාකච්ඡාව පවත්වන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. ‘‘අරුණ’’ කළ විමසුකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ ඇඳිරි නීතිය ඉවත් කර රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා විපක්ෂයේ අදහස් ලබාගැනීමට මෙම සාකච්ඡාවට කැඳවා තිබූ බවයි. පාර්ලිමේන්තුව කැඳවා අදහස් ලබා ගන්නා ලෙසට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලීමක් කර තිබූ බව අගමැතිවරයා පෙන්වා දෙයි. එහෙත් ව්‍යවස්ථානුකූලව එලෙස පාර්ලිමේන්තුව රැස් කළ නොහැකි බව ඔහු අවධාරණය කර සිටියේය. විපක්ෂයේ දේශපාලන පක්ෂ නොපැමිණීම මගින් පැහැදිලි වවන්නේ ඔවුන්ට කොවිඩ් වෛරසය පාලනය කිරීමට වඩා වෙනත් දේශපාලන අරමුණක් උදෙසා කටයුතු කිරීමට ඇති වුවමානව බව අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
උදයජීව ඒකනායක
