News

අබලන් දුම්රිය මැදිරි අලුත්වැඩියාව දෙපාර්තමේන්තුවට ගැනීමේ සූදානමක්

දැනට පෞද්ගලික අංශයෙන් පමණක් ක්‍රියාත්මක කෙරෙන අබලන් දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය දුම්රිය දෙපාර්තමේන්තුවට ද ලබා ගැනීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව ළඟදීම ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග ’අරුණ’ට පැවසීය.

මෙම අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය පෞද්ගලික අංශයට පිරිනැමීම පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිවරයා ඇමැති මහින්ද අමරවීරට උපදෙස් දී ඇති අතර ඒ අනුව පසුගිය දිනවල දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සමග ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

භාවිතයට ගත නොහැකි මට්ටමේ පැවති දුම්රිය මැදිරි 200ක් අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් ඉකුත් ආණ්ඩුව විසින් පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති අතර එම එක් මැදිරියක් අලුත්වැඩියා කිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල දළ වශයෙන් රුපියල් එක්කෝටි හැට ලක්ෂයකි.

එම මැදිරි 200න් මේ වන විට මැදිරි 160ක් අලුත්වැඩියා කර අවසන්ව ඇත.

මෙම වසරේදී තවත් දුම්රිය මැදිරි 266ක් අලුත්වැඩියා කිරීමට නියමිත අතර ඉන් මැදිරි සියයක් පමණ දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීමේ අංශයේ සේවකයන් හාරසියයක් පමණ සිටින අතර ඔවුන්ට අවශ්‍ය පුහුණුව හා නව තාක්ෂණය ලබා දීමට ද අමාත්‍යාංශය සූදානම් වෙයි.

 

නිලන්ත මදුරාවල