News

මෙවර මෝසම දරුණු ‌වෙයි

මෙවර නිරිත දිග මෝසමෙන් වෙනදාට වඩා වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ මාසයේ අවසන් භාගයේදී නිරිත දිග මෝසම ආරම්භ වීමට නියමිතය. ඒ අනුව මෙම 20 වැනිදා පමණ වන විට මෝසම් වැසි අපේක්ෂා කෙරේ.

එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වා මෝසම සක්‍රියව පවතිනු ඇත.

දකුණු ආසියානු රටවල කාලගුණ විද්‍යා අංශ කමිටුව එළැඹෙන නිරිත දිග මෝසම පිළිබඳ සිදුකළ පුරෝකථන රැස්වීමේදී මේ බව අනාවරණය කර ඇත.

කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුරය, කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නිරිත දිග මෝසමෙන් දැඩි බලපෑම් එල්ල වනු ඇතැයිද පුරෝකථනය කර ඇත.

හම්බන්තොට, කුරුණෑගල, බදුල්ල යන දිස්ත්‍රික්කවල කොටසකටද නිරිත දිග මෝසමෙන් බලපෑම් එල්ල වෙයි.

මේ නිසා නායයෑම්, ගංවතුර, අකුණු අනතුරු සිදුවිය හැකි බව කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයතනද දැනුවත් කර තිබේ.

 

උදයජීව ඒකනායක