News

එළියට ආවේ කිම් ජොම් උන්ගෙ ඩමියක්ද ?

උතුරු කොරියානු නායක කිම් ජොං උන් පිළිබඳව හදිසියේම කිසිදු ආරංචියක් නැතිව යාම සති කිහිපයකට පෙර මහත් ආන්දෝලනයක් ඇති කළ කාරණයක් විය.

දින 20ක පමණ කාලයක් එරට මාධ්‍ය තුළ ඔහු පිළිබඳ කිසිදු සඳහනක් නොවීම කා තුළත් ලොකු කුතුහලයක් ඇති කිරීමට සමත් වූයේය.

මේ සම්බන්ධයෙන් විවිධ ආරංචි මාධ්‍ය තුළ පැතිරෙන්නට පටන් ගත් අතර ඇතැම් ආරංචිවලින් පැවසුණේ කිම් ජොං උන් හට හදවත් සැත්කමක් කිරීමෙන් පසු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

ඔහු මියගොස් ඇති බවට පවා කතන්දර පැතිරිණි. මේ බොහෝ කතාවලට තිත තැබුණේ කිම් ජොං උන් පසුගිය මැයි 1 වැනි දින නැවතත් එරට මාධ්‍ය හමුවේ පෙනී සිටීමත් සමගිනි.

ඒ කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි. රෝගාතුරව සිටි බවක් ඔහුගෙන් පළ නොවීමද විශේෂත්වයක් විය.

කෙසේ හෝ වේවා, දැන් මේ සම්බන්ධයෙන්ද අලුත් කතන්දරයක් පැතිරෙන්නට පටන් ගෙන තිබේ.

එනම් එදින කර්මාන්ත ශාලාව විවෘත කිරීමට පැමිණියේ සැබෑ කිම් ජොං උන් නොවන බවයි. ඔහු වෙනුවට ඔහුගේ පෙනුම ඇති වෙනත් කෙනෙකු එම අවස්ථාවට සහභාගි වූ බවට අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබේ.

ඇතැම් රටවල ජීවිත තර්ජන ඇති රාජ්‍ය නායකයින් වෙනුවෙන් මෙවැනි සම පෙනුමැති චරිත යොදා ගන්නා බව රහසක් නොවේ. ඒ බොහෝ දුරට ආරක්‍ෂක උපක්‍රමයක් වශයෙනි.

මැයි 1 වැනි දින කර්මාන්ත ශාලාව විවෘත කිරීමට පැමිණියේ කිම් ජොං උන් නොවන බව පෙන්වීම සඳහා සැබෑ කිම් ජොං උන්ගේ ඡායාරූපයක් සහ එදින ගන්නා ලද ඡායාරූප සංසන්දනය කිරීමට මේ සමාජ මාධ්‍යකරුවන් පියවර ගෙන තිබිණි.

ඔවුන් සිය තර්කය සනාථ කිරීමට උත්සාහ ගෙන තිබුණේ දත්වල සහ කන්වල පෙනුම ඇසුරෙනි.

කෙසේ වෙතත් මේ අදහස් පිළිගැනීමට බොහෝ දෙනෙකු සූදානම් බවක් නොපෙනේ.

ඇතැමුන් පෙන්වා දී තිබුණේ ඡායාරූපවල සිටින්නේ දෙදෙනෙකු බව පෙන්වීම සඳහා දෙවැනි ඡායාරූපය සංස්කරණය කර එහි යම් යම් වෙනස් කම් කර ඇති බවයි.

 

සහන් වික්‍රමගේ