News

ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න දෙන්න බැහැ

වසංගතය සම්බන්ධයෙන් තේරුම් ගැනීමට අසීරු නිවේදන වෙනුවට පොදු හා සරල සන්නිවේදන ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි හිටපු අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලා සිටී.

සමාජ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළ එජාප නායකයා මෙසේද පවසයි.

පරීක්ෂණ වැඩි නොකර, දුරස්ථභාවය අඩු කළහොත් සිතනවාට වඩා අර්බුදකාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම රෝග ව්‍යාප්තිය පාලනය සඳහාත්, ප්‍රතිකාර සඳහාත් කෙළින්ම සම්බන්ධ වෙන සෞඛ්‍ය, ආරක්ෂක ආදී ක්ෂේත්‍රවලත්, අත්‍යාවශ්‍ය සේවා ක්ෂේත්‍රවලත් කටයුතු කරන අයගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා සැලකිල්ලක් යොමු කරන මෙන් මම ඉල්ලා සිටිනවා. ඔවුන්ට අවශ්‍ය මුඛ ආවරණ, ඇඳුම්, දුරස්ථව කටයුතු කිරීමේ පහසුකම් ආදී සියලුම ආරක්ෂිත පියවර මීට වඩා ශක්තිමත් කළ යුතුයි. නැතිනම් ඒ ක්ෂේත්‍ර අර්බුදකාරි තත්ත්වයට පත්වෙන්න පුළුවන්.

දිනකට පරීක්ෂණ කොපමණ පවත්වනවාද, තුන් දහසේ සීමාව කරා ළං වෙන්නට අපට පුළුවන් කවදාද? ඒ සීමාව මාස කීපයක කාලයක් ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල අපට තියෙනවාද, ඒවා ඇණවුම් කර තිබේද ආදී ප්‍රශ්න ජනතාව අතර පැන නැගී තියෙනවා. ඒ ප්‍රශ්නවලට පිළිතුරු ජනතාවට හෙළි කිරීම රජයේ යුතුකමක්.

ඒ වගේම මේ වනවිට වෙනත් රටවල් මුඛ ආවරණ සහ පරීක්ෂණ කට්ටල ලක්ෂ ගණනින් ගෙන්වාගෙන තියෙනවා. අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඒ අය තවත් දස ලක්ෂ ගණනින් සෞඛ්‍ය උපකරණ ඇණවුම් කර තියෙනවා.

පෙබරවාරි මාසයේ සිට මේ දක්වා අප මේ සම්බන්ධයෙන් ගත් පියවර මොනවාද? මේ පිළිබඳ සියලු කරුණු ජනතාවට ඉදිරිපත් කිරීම සෞඛ්‍ය ඇමැතිතුමියගේ වගකීමක්. මේ සියලු කටයුතුවල විවෘත භාවයත්, විනිවිද භාවයත් තිබිය යුතුයි. මේ උදාවී ඇත්තේ ජනතාවගේ ජීවිත පිළිබඳව ප්‍රශ්නයක්. ජීවිත සමග සෙල්ලම් කිරීමට ඉඩදීමට අපට බැහැ.

වසංගතය සම්බන්ධ පියවර ගැනීම සඳහා ලෝක බැංකුව අපේ රට වෙනුවෙන් මුදල් වෙන්කර තියෙනවා. ඒ නිසා මේ පියවර ගැනීම සම්බන්ධයෙන් කිසිදු මූල්‍යමය ප්‍රශ්නයක් නැති බවත් මා පෙන්වා දෙන්නට කැමතියි.

වසංගතය මැඬලීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටට වෙනමම උපදෙස් මාලාවක් ලබාදුන්නා. ඒ උපදෙස් පිළිබඳව ජනතාව දැනුවත් කර, ඒවා ක්‍රියාත්මක කරන ලෙස මම මීට කලිනුත් ඉල්ලා සිටියා. ඒ ඉල්ලීම මම නැවතත් රජයට ඉදිරිපත් කිරීමට කැමතියි.

වසංගතය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ සන්නිවේදන කටයුතුද නිසි අයුරින් සිදුවන්නේ නැහැ. රජයේ නිවේදන සංකීර්ණයි, පරස්පරයි, තේරුම් ගැනීමට අසීරුයි. මේ නිසා පොදු හා සරල සන්නිවේදන ක්‍රමවේදයක් අනුගමනය කරන මෙන් මම රජයට සිහිපත් කරන්නට කැමතියි.

ඒ වගේම රජයේ සේවකයන්ට සිය වැටුප් පරිත්‍යාග කරන මෙන් කර ඇති ඉල්ලීම ගැනද මගේ අවධානය යොමු වුණා. මේ උදාවී ඇති අර්බුදය රජයේ සේවකයන්ගේ මාසයක වැටුප් බිලෙන් විසඳා ගන්න හැකි තරම් සුළු එකක්ද? අනික් අතට තම වැටුප වැන්දඹු හා අනත් දරු අරමුදලට දීමෙන් රටේ ආර්ථිකයට ලැබෙන ශක්තිය කුමක්ද? මෙන්න මේ ප්‍රශ්න ජනතාව හමුවේ පහදා දීම රජයේ යුතුකමක්.

එක්සත් ජාතික පක්ෂයේ අපි මේ අර්බුදකාරී අවස්ථාවේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ක්‍රියා කරන්නේ නෑ. හැමවිටම වසංගතය මර්දනය සම්බන්ධ කටයුතුවලට අපි සහාය ලබාදුන්නා. ඉදිරියටත් එසේමයි. අර්බුදය ජය ගැනීම සඳහා ධනාත්මක පියවර යෝජනා කළා. ඉදිරියටත් එසේම කරනවා.

අප දේශපාලන වාසි නොතකා රට වෙනුවෙන් මේ කැපවීම කරනවා. ඒ අයුරින්ම කටයුතු කිරීම රජයේද වගකීමක් බව මා පෙන්වා දෙන්නට කැමතියි.

අර්බුදය ලිහිල් කරගත හැක්කේ එසේ කටයුතු කිරීමෙන් පමණයි.