News

පළාත් කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව,දකුණු, බස්නාහිර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.100 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල තද වැසිද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.