News

Update : රාජිත සේනාරත්න රිමාන්ඩ්

හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13) පස්වරුවේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.

රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් ඉකුත් දෙසැම්බර් මස 30 වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද පෙරවරුවේ අවලංගු කරන ලදී.

අනතුරුව රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කර තිබුණි.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මීගමුව, පල්ලන්සේන ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එලෙස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.