මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවික හමුදාව
ජනපති ගෝඨාභය රාජපක්ෂගේ අණින් පොතුවිල් මුහුදු මහා විහාරය ආරක්ෂා කිරීම සඳහා අද (15වැනිදා) සිට නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කිරීමට නියමිතය.
මින් ඉදිරියට මුහුදු මහා විහාරයේ එකඳු වැලි කැටයක්වත් කිසිදු අයකුට අත්පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙසත් බලහත්කාරයෙන් අත්පත් කරගත් සියලුම ඉඩම් යළිත් ලබාගැනීමට කටයුතු සම්පාදනය කරන බවත් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පොතුවිල් මුහුදු මහා විහාරයේදී පැවසීය.
මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ද එක්වූ අතර ආරක්ෂක ප්‍රධානීන් විසින් පොතුවිල් මුහුුදු මහා විහාරය මෙන්ම දැනටමත් ඉඩම් කොල්ලකෑමට ලක්ව ඇති දීඝවාපී විහාරස්ථානයද නිරීක්ෂණයම කර එහි ඉඩම් නැවත ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.
ගිනිකොන දිග නාවික විධායනයට අයත් නාවික හමුදාවේ භට පිරිස් වහාම අද (15) සිට මුහුදු මහා විහාරයේ ඉඩම් ආරක්ෂා කිරීමට පිටත් කර යැවීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා නියෝග කළේය. නාවික හමුදාවේ සහායට පොලිසියද යෙදවීමට පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩම් යළි ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නැගෙනහිර ආණ්ඩුකාරවරිය ඉදිරියේදී අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
