News

ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් මුස්ලිම්වරු ගැන වෛරී ප්‍රකාශ කරලා

වසංගත තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු සුළුතර මුස්ලිම් ප්‍රජාව පිළිබඳ ප්‍රසිද්ධියේ වෛරී ප්‍රකාශ සිදුකර ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

නිව්යෝක් පදනම් කරගත් හියුමන් රයිට්ස් වොච් වැඩිදුරටත් පවසන්නේ කොවිඩ් 19 වසංගතය හිතාමතාම ව්‍යාප්ත කිරීම සඳහා මුස්ලිම්වරුන් වගකිවයුතු බවට සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙසට රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු ප්‍රසිද්ධියේ ජනතාවගෙන් ඉල්ලා ඇති බවයි.

හියුමන් රයිට්ස් වොච් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ. කොවිඩ් 19 සංකූලතා හේතුවෙන් මියයන ඕනෑම අයකු ආදාහනය කළ යුතු බවට ශ්‍රී ලංකා රජය 2020 මාර්තු 27 ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එය ඉස්ලාමීය ආගමික වත්පිළිවෙත්වලට පටහැනිය. ආදාහනය ‘සංස්කෘතික වරණය සහ පවතින සම්පත්’ මත තීරණය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත. එම නිසා මෙම නීතිය ආගමික නිදහස උල්ලංඝනය කරන්නක් බවත් වෛරී ප්‍රකාශ සහ කොවිඩ් 19 ආසාදිත මුස්ලිම්වරුන් අපකීර්තියට පත් කෙරෙන ප්‍රකාශ කෙරෙහි පසුගිය අප්‍රේල් 8 වැනිදා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් සිව්දෙනෙකු විසින්ද වාර්තාවක් නිකුත් කර ඇත.

මේ අතර ආදාහනය කිරීමේ නීතියට එරෙහිව ෆේස්බුක් සටහනක් තැබූ මුස්ලිම් ජාතික රම්සි රසීක් නමැත්තකු හට මරණ තර්ජන එල්ල වූ බවත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ විට ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත් හියුමන් රයිට්ස් වොච් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.