News

කොවිඩ් – 19 නිසා බාහිර අයට පාර්ලිමේන්තු ප්‍රවේශය තහනම්

කොවිඩ් – 19 වෛරසය පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පැතිරීම වළක්වා ගැනීම සඳහා අවසර ලත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හැර වෙනත් බාහිර පුද්ගලයන්ට පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වීම සීමා කර ඇත.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් හදිසි සහ අත්‍යවශ්‍ය කටයුතුවලට සීමා කොට තිබූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලයේ කටයුතු පසුගිය 11 වැනිදා නැවත ආරම්භ කළේය.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් සකසන ලද රාජකාරි දින පැවැරුම් ලැයිස්තුවකට අනුව අනෙකුත් කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කරවීමට තීරණය විය.

කොවිඩ් – 19 වෛරසය පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පැතිරීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වන සියලු සෞඛ්‍යාරක්ෂණ ක්‍රියාමාර්ග මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කොට ඇති අතර, ඒ පිළිබඳ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමද අරඹා ඇත. ඉදිරි සති කිහිපය ඇතුළතදී පාර්ලිමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කිරීම මෙහි අරමුණයි.

 

අජිත් අලහකෝන්