කුවෙට්හි සිටි ලාංකිකයන් 450 කට ආසන්න පිරිසක් හෙට දිවයිනට
කුවෙට්හි රැකියා සඳහා විදේශ වූ ශ්‍රී ලාංකිකයන් අතුරින් කොරෝනා වසංගත තත්ත්වය මත විවිධ අපහසුතාවයන්ට පත්වු 448 පමණ පිරිසක් හෙට(19) දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තෙ මහතා විසින් මෙම පිරිස කුවෙට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.
කුවේට් ගුවන් සේවයට අයත් යානා දෙකකින් පැමිණෙන මෙම පිරිස හෙට දහවල් ශ්‍රී ලංකාවට ළඟා වන අතර ඉතිරි පිරිස හෙට රාත්‍රීයේ දිවයිනට පැමීණිමට නියමිතය.
මෙම පිරිසෙන් 65 දෙනෙක් පමණ කුවෙට් රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳී සිටියවුන් වන අතර, 383 දෙනකු වීසා නොමැතිව කුවෙට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී එරට රජය විසින් ලබාදුන් පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් වෙයි.
