News

අත්සන් නොකළ අයගේ අත්සන් ඉදිරියේදී ගන්නවා-දයාසිරි ජයසේකර

පක්ෂය හැර නොයන බවට වන දිවුරුම් ප්‍රකාශයට අත්සන් නොකළ සාමාජිකයන්ගෙන් ඉදිරියේ දී අත්සන් ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පැවසීය.

මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම් ගත වීමේදී ඒ ඒ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කිරීම අනිවාර්ය කොන්දේසියක් වූ බවත් දිවුරුම් ප්‍රකාශ ලබා ගත්තේ පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට බවත් මහ ලේකම්වරයා තවදුරටත් කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (19 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී හෙතෙම මේ බව සඳහන් කළේ හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාල එම දිවුරුම් ප්‍රකකාශයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ‘අරුණ’ කළ විමසුමේදී ය.

එලෙස දිවුරුම් ප්‍රකාශයකට අත්සන් ගත්තේ සාමාජිකයන් පක්ෂය හැර යනු ඇතැයි යන බිය නිසා ද යන්න සහ එම දිවුරුම් ප්‍රකාශයට අත්සන් නොකළ සාමාජිකයන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ද යන්න ‘අරුණ’ විමසා සිටියේය.

එම ප්‍රකාශයට අත්සන් ගැනීමට හේතුව පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම යැයි කී මහ ලේකම්වරයා සියලුම සාමාජිකයන් දිවුරුම් ප්‍රකාශයට අත්සන් කර ඇතැයි ද කීවේය.

 

නිලන්ත මදුරාවල