News

ගෝලීය අරමුදලින් මැලේරියා මර්දනයට දුන් මුදල්වලින් කොටසක් කොවිඩ්-19 අරමුදලට

ලංකාවේ මැලේරියා මර්දනය සඳහා ගෝලීය අරමුදල ලබාදුන් මූල්‍ය ආධාරවලින් සියයට දහයක් කොවිඩ් මර්දන අරමුදලට ලබාදීමට එම අරමුදල අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ඇමරිකන් ඩොලර් දෙලක්‍ෂ පනස් දහසක් කොවිඩ් 19 අරමුදලට ලබාදීමට නියමිත බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර ඊයේ (19වැනිදා) පැවැසීය.

මෙරට මැලේරියා මර්දනය සඳහා 2019/2020/2021 යන වසර සඳහා ගෝලීය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන දෙකහමාරක මූල්‍ය ආධාරයක් ලබාදීමට එකඟත්වය පළ කර ඇත. පසුගිය වසරට සහ මෙම වසරට අදාළ වෙන් කළ ප්‍රතිපාදන මේ වනවිටත් ලබාදී තිබේ.

ලෝකයේ මැලේරියාව තුරන් කළ බවට පිළිගත් රටවල් සඳහා වසර තුනකට මැලේරියා මර්දන කටයුතු වෙනුවෙන් ගෝලීය අරමුදල මූල්‍ය ප්‍රතිපාදන සපයන අතර ඒ අනුව 2019/20/21 සඳහා සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත.

2021 වසරින් පසුව මෙරට මැලේරියා මර්දන කටයුතු සඳහා ගෝලීය අරමුදල මූල්‍ය ආධාර ලබාදෙන අතර 2022 වසරේදී සිට ශ්‍රී ලංකා රජය විසින් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළයුතුය.

ශ්‍රී ලංකාවේ මැලේරියා මර්දන කටයුතු පිළිබඳව ගෝලීය අරමුදලේ අග්නිදිග ආසියානු කලාපයේ උපදේශිකාවගේ පැසසුමට ලක්වූ බවද වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවැසීය.

 

සුනිල් රූපසිංහ