News

කොරෝනා නිසා මිලියන 60ක් අන්ත දිළිඳුභාවයට

කොරෝනා වසංගතයෙහි බලපෑම නිසා ලෝකයේ මිලියන 60කට වැඩි පිරිසක් අන්ත දිළිඳුභාවයට ඇද වැටෙනු ඇති බව ලෝක බැංකුව පවසයි.

පුද්ගලයෙකුගේ දිනක ආදායම ඇමෙරිකානු ඩොලර් 1.90 (ලංකා රුපියල් 360) කට වඩා අඩු වීම අන්ත දිළිඳුභාවයේ මිණුම් දඬුව ලෙස ලෝක බැංකුව විසින් අර්ථ දක්වනු ලබයි.

එහි සභාපති ඩේවිඩ් මැල්පාස් සඳහන් කර ඇත්තේ ලෝකයේ දිළිඳුභාවය තුරන් කිරීම සඳහා පසුගිය වසරවල ගන්නා ලද උත්සාහයන්හි ප්‍රතිඵල මේ නිසා අතුරුදන්ව යනු ඇති බවයි. වසංගතයේ බලපෑම නිසා මිලියන ගණනකගේ රැකියා සහ ආදායම් මාර්ග අහිමිව ගොස් ඇති අතර බොහෝ ව්‍යාපාර කඩා වැටෙමින් තිබේ.

මෙහි බලපෑම වඩාත්ම තදින් දැනෙන්නේ දිළිඳු රටවලට බවද ලෝක බැංකු සභාපතිවරයා සඳහන් කරයි. මෙම වසර තුළ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 5කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

මෙම තත්ත්වය තුළ ආධාර සහ අඩු පොලී ණය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 160 ක මුදලක් දිළිඳු රටවලට ලබා දීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ. ලෝක ජනගහනයෙන් සියයට 70 කට ආසන්න පිරිසක් ජීවත් වන රටවල් 100 කට දැනටමත් මෙම ආධාර සහ ණය ලබා දී ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.

මෙම රටවලට ණය ලබා දී ඇති ඇතැම් වාණිජ ආයතන එම ණය වෙනුවෙන් සහන ලබා දීමට තවමත් කටයුතු කර නොතිබීම ගැන ඔහු කණස්සල්ල පළ කරයි. ඉතාම දිළිඳු රටවලින් පවා ඔවුන් තවදුරටත් ණය අය කරගනිමින් සිටින බව ඔහු පෙන්වා දී තිබිණි.

 

සහන් වික්‍රමගේ