දිනය අවිනිශ්චිතයි අපි නිශ්චිතයි මැතිවරණ කොමිසම කියයි
මැතිවරණ දිනය පිළිබඳ අවිනිශ්චිතතා පැවැතියද සෞඛ්‍ය නිර්දේශ මත නව ක්‍රමයක් යටතේ හෝ පැරණි ක්‍රමය යටතේද ඉදිරි මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
‘අරුණ’ට ප්‍රකාශයක් කරමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ රටේ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සලකා බලන විට සුපුරුදු පැරණි ක්‍රමය යටතේම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බවයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය නිරිදේශ මත නව ක්‍රමයක් යටතේ මැතිවරණය පැවැත්වීමට සිදුවුවහොත් ඡන්ද දායකයන් මෙන්ම මැතිවරණ නිලධාරීන්ගේද සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර රැසක් පිළිබඳව මේ වනවිට සාකච්ඡාවට ලක්කර ඇති බවද හෙතෙම පැවසීය.
විශේෂයෙන්ම දිස්ත්‍රික්ක මට්ටමේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
‘‘කොළඹ ගත්තොත් අපිට තියෙන්නේ රෝයල් එකයි ඩී.එස්. එකයි විතරයි. ඒ වෙනුවට තවත් පාසල් කිහිපයක් තෝරාගෙන අපිට ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ගැවසෙන පිරිස අවම කරන්න කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් අපිට අතිරේක වියදමක් දරන්න වෙනවා….’’ නව ක්‍රමයක් යටතේ ඡන්ද මධ්‍යස්ථානවලදී අනුගමනය කළ යුතු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අතර ඡන්ද දායකයාගේ ඇඟිල්ලක් තීන්ත සළකුණු කිරීම වෙනුවට ඇඟිලිවලට තීන්ත ඉසීම (ස්ප්‍රේ කිරීම) හෝ නොමැකෙන තීන්ත බින්දුවක් වත් කිරීම ඇතුලු නවක නිර්දේශ ගණනාවක් පිළිබඳවද මැතිවරණ කොමිසමේ සාකච්ඡාවට ලක්වෙමින් පවතින බවද හෙතෙම පැවසීය.
නයන තරංග ගමගේ
