News

ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු සමාජ දුරස්ථභාවය කඩන අයට නඩු

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන සියලුම පුද්ගලයන් අද (26 වැනිදා) සිට අත්අඩංගුවට ගන්නා බවත් ඒ සඳහා වීඩියෝ සාක්ෂි සොයා ගන්නා බවත් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊයේ (26 වැනිදා) පැවැසීය.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බවද අජිත් රෝහණ මහතා පැවැසීය. අපරාධ නීතිය සහ නිරෝධායන පනත යටතේ නඩු පවරණ බවත් සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා එවැනි පුද්ගලයන්ට අධිකරණය මගින් මාස 6ක සිරදඬුවම් නියම කළ හැකි යැයි පැවැසීය.

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ,

‘විශේෂයෙන් වෙළෙඳසල් රටබීමහල්, වයින් ස්ටෝර්ස් වැනි ආයතනවලදී ඇතැම් පිරිස් සමාජ දුරස්ථභාවය තබා නොගන්නා බවට වාර්තා වී තිබෙන බැවින් එවැනි පුද්ගලයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා එම ආයතනවල සවිකර තිබෙන සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කර ගන්නා බවත් සඳහන් කළේය.

මීට අමතරව සමාජ දුරස්ථභාවය කඩ කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දිවා රෑ දෙකෙහිම නිල සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් 55,000ක් පමණ යොදවා තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

තවමත් රටේ බොහෝ දෙනා මීටරයක පරතරය පවත්වා නොගෙන කටයුතු කරන බව පෙනී ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බවද හෙතෙම පැවැසීය.

වැළැක්වීමේ ආඥා පනත සහ එම රෙගුලාසි අනුව තමා වෙත පැවැරී ඇති බලතල ප්‍රකාරව පොදු ස්ථාන, පොදු ප්‍රවාහන සේවා, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන හා කවුන්ටර් හෝ වෙනත් එවැනි ස්ථාන ආශ්‍රිතව සමාජ දුරස්ථභාවය උල්ලංඝනය වන අයුරින් කටයුතු කරන පුද්ගලයන් හා ඊට අනුබල දෙන අයට එරෙහිව නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් සේ සලකා ක්‍රියා කරන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත යොමු කළ ලිපියේ සඳහන් වේ

ඉෂාර රත්නකාර