තොණ්ඩමාන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට
ප්‍රජා සවිබල ගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් ඇමැති, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමාන්ගේ දේහය අද (28 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගෙන ඒමට නියමිතය.
තොණ්ඩමන් මහතාගේ අභාවය හේතුවෙන් ශෝකයට පත් වතුකරයේ ජනතාව සුදු කොඩි දමා සරසා ඇති අයුරු.
එහි පැය කිහිපයක් තැන්පත් කර තිබෙන දේහය පසුව කොල්ලුපිටිය මල්පාරේ පිහිටි ලංකා කම්කරු කොංග්රස් මූලස්ථානය වෙත ගෙන ගොස් අවසන් ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබීමට අවමංගල්‍ය කමිටුව තීරණය කර ඇත.
දේහය හෙට (29 වැනිදා) කොත්මලේ රම්බොඩ පිහිටි ආරුමුගන් තොන්ඩමන් මහතාගේ නිවසට ගෙන යාමටත්, 30 වැනිදා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්රස් කාර්යාලය වෙත ගෙන යාමටත් තීරණය කර තිබේ.
තොණ්ඩමන් මහතාගේ දේශය පිළිබඳ අවසන් කටයුතු 31 වැනි ඉරිදා රාජ්‍ය ගෞරව සහිතව නොර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්. සත්‍යවේල් පැවසුවේය.
ආරුමුගන් තොණ්ඩමන් ඇමැතිවරයාගේ දේහය ඊයේ (29 වැනිදා) දවස පුරා බත්තරමුල්ල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබිණි.
තම නායකයාගේ අභාවය නිසා වතුකරයේ කිසිදු වතු කම්කරුවකු ඊයේ දෛනික රාජකාරි කටයුතුවලට වාර්තා නොකළ අතර 26 දින රාත්‍රියේ සිට වතු කම්කරුවන් පදිංචි නිවාසවල සහ වතු මාර්ග සුදු කොඩිවලින් සරසා ශෝකය සහ ගෞරවය පුද කිරීමට කටයුතු කර ඇත.
26 දින පස්වරුවේ ආරුමුගන් තොණ්ඩමන්ට හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් තලංගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත විය.
දරුවන් තිදෙනකුගේ පියකු වන තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ දිවංගත සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව 1999 වසරේදී ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය ආරුමුගන් තොණ්ඩමන් මහතාට හිමිවිය.
1964.05.29 දින උපත ලැබූ ආරුමුගන් තොණ්ඩමන් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර 1994 වසරේ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර එදා සිට අද දක්වාම පැවැති රජයන්වල විවිධ අමාත්‍යාංශ ධුරයන් දැරීය.
සිතාර ඉරාෂ් – වටවල
චන්දන ජයවීර – හැටන්
